ගායකයකු, නිවේදකයකු මෙන්ම ටෙලිනාට්‍ය හා චිත්‍රපට රංගන ශිල්පියකු වන බුද්ධික රඹුක්වැල්ල හැකියාවන් රැසකින් පිරිපුන් කලාකරුවකු ලෙස කවුරුත් ආදරය කරන චරිතයක්.
බුද්ධික මුහුණු පොතේ පවත්වාගෙන යන ‘ලයිව් විත් බුද්ධික, සජීවී වැඩසටහන පිළිබඳව මෙරට මෙන්ම විදේශ රටවල ජීවත්වන ශ්‍රී ලාංකිකයන් අතර කතාබහට ලක්වූ අලුත්ම වැඩක්. මේ ඔහු ගැනයි.
බුද්ධික කුඩා කාලයේ සිටම හීන මැව්වේ රංගන ශිල්පියකු වීමටද ?
ඔව්. පාසල් යන අවදියේ සිට සෑම විටම උත්සාහ කළේ අනෙක් ළමයින්ට වඩා වෙනස් දෙයක් කිරීමටයි. ලොකු වෙලා රංගන ශිල්පියෙක් වී අනෙක් රංගන ශිල්පීන්ට වඩා වෙනස් දෙයක් කරනන්න ඕනෑ කියන මතය මගේ සිතේ තිබුණා. අදටත් වෙනස් දේවල් කරන්නට දක්වන කැමැත්තේ ප්‍රතිඵලයක් තමයි පසුගිය කාලයේ මෝටර් රථයක් පැයට කිලෝ මීටර් හැත්තෑ දෙකක වේගයෙන් කිලෝ මීටර් එකසිය එකක් දුර පැය දෙකහමාරකදී පිටුපසට ධාවනය කර වාර්තාවක් තැබුවේ. ඒ වගේම කකුල් දෙකෙන් මෝටර් රථය පේදුරු තුඩුවේ සිට තිස්සමහාරාමය දක්වා පැය පහළොවක් ඇතුළත කිලෝමීටර් නවසිය තුනක් දුර ධාවනය කළා. පාසල් කාලයේදී පාසල් වේදිකාවේ කැපී පෙනුණු රංගන ශිල්පියෙක් මම. පළමු වසරේ සිට උසස් පෙළ දක්වා පාසල් කිහිපයකට ගියා. ඒ සෑම පාසලකම නාට්‍ය කණ්ඩායම්වල රඟපෑවා. පාසල් වේදිකාවෙන් ප්‍රසිද්ධ වේදිකාවට අවතීර්ණ වෙන්න ෂෙල්ටන් පයාගල, සුනිල් හෙට්ටිආරච්චි, කපිල කුමාර කාලිංග, ක්‍රිෂ්ටි ෂෙල්ටන් ප්‍රනාන්දු මහත්වරු උදවු කළා.
රංගන ශිල්පියකු වීම ගැන තෘප්තිමත්ද?
මේ වන විට රංගන ශිල්පියකු වීම ගැන තෘප්තිමත් නැහැ. ඒ නිසා තමයි ගායනයට වැඩි නැඹුරුවක් දක්වන්නේ. අද අපේ රටේ කලා ක්ෂේත්රයට වෙලා තියෙන්නෙ ලොකු විනාශයක්. නවක රංගන ශිල්පීන් ප්‍රවීණ කලාකරුවන්ට කතාකරන්න දන්නෙ නැහැ. ඇතැම් අධ්යක්ෂවරු පවා ඒ අයට ඕනෑ විදිහට වැඩ කරනවා. ඒවා දකිනකොට රංගන ශිල්පියකු වීම ගැන සතුටක් ඇතිවන්නේ නෑ.
වඩාත් කැමැත්තෙන් කියවපු මතකයේ රැඳුණු පොත මොකක්ද?
‘ගුරු ගීතය‘ වගේම මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා‘ පොතට වඩාත් ප්‍රිය කරනවා. විශේෂයෙන් ගුරු ගීතය පොත ගැන කියනවා නම් එම පොත කියවීමෙන් මම වෙනම ම ලෝකයකට ගියා කීවොත් නිවැරැදියි. එහි එන ගුරුවරයාගේ භූමිකාව ගැන සිතත්දී එම වෘත්තිය පිළිබඳව පුදුම ගෞරවයක් සිතට පිවිසෙන්නේ. එදා පොත කියවද්දී එම රටවලට හිතෙන් පියමං කළා. අද එම රටවල ඇත්තටම යන්න දැකගන්න වාසනාව ලැබිලා තියෙනවා. එහෙම ගිය විට සිතට දැනෙන ප්‍රීතිය කියා නිමකළ නොහැකියි.
කැමැතිම සිනමා පටය..
එයාර්ෆෝස් වන්. මෙම චිත්‍රපටයට ගොඩක්ම ප්‍රිය කරන්නේ එහි සිටින රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන්ට කැමැති නිසායි.
කැමැතිම රංගන ශිල්පියා, ශිල්පිනිය, ගායකයා සහ ගායිකාව..
ලාංකික සිනමාව ගැන කතාකරනවානම් මම වඩාත් කැමැතියි පැරැණි රංගන ශිල්පීන්ට සහ ශිල්පිනියන් සියලුම දෙනාට. ඒ අතරින් ජෝ අබේවික්‍රම සහ රුක්මණී දේවියගේ රංගනයට ප්‍රිය කරනවා.
කැමැතිම ගායකයා සහ ගායිකාව ගැන කතා කරනවානම්
එම්. එස්. ප්‍රනාන්දු සහ සමන් ද සිල්වාගේ ගායනයට කැමැතියි. මම බොහෝ ප්‍රසංගවලට සහභාගි වු විට ඔවුන් දෙදෙනාගේ ගීත ගායනා කරනවා. රුක්මණී දේවියගේ රංගනය සේම ගායනයටත් ප්‍රියයි. නමුත් මගේ ජීවිතයේ අසන්නට ප්‍රිය කරන හොඳම කාන්තා හඬ තියෙන්නේ මැඩෝනාට. ඇයගේ ගීතයක් අසන ගමන් තමයි එදා කාර් එක පිටුපසට ධාවනය කළේත්. එම ගීත මගේ අධිෂ්ඨාන ශක්තිය වැඩි කළා කීවොත් නිවැරැදියි.
තව කෙනකු කරනවාට අකැමැති දෙය..
ඊරිසියාව. මිනිසුන් පුදුමාකාර විදිහට තවත් මිනිසකුට ඊරිසියා කරනවා. එහෙම කළා කියා කිසිම දෙයක් ලැබෙන්නෙත් නෑ. ලබා ගන්නත් බෑ. ඒකෙන් වෙන්නෙ තමුන් රෝගී වෙන එක විතරයි. දැන් බලන්න අපේ ගෙවල්වල එකවුන්ට්ස් බලන්නෙ කවුද අල්ලපු ගෙදරින්නේ. ඒ අය තමයි දන්නේ අපි අඳින එක, යන වාහනය, කන බොන හැටි. එහෙම මිනිස්සුන්ට මම කැමැති නෑ. ඒ වගේ අය ඇසුරටවත් ගන්න එපා.
රංගන ශිල්පියකු ලෙස සමාජයට දෙන ආදර්ශය කුමක්ද?
මම හැම වෙලේම ධාර්මිකව ජීවත්වෙනවා වගේම පවට බය පුද්ගලයෙක්. හැම වෙලේම කාට හෝ වචනයකින් හෝ උදවුවක් කරන චේතනාව තියෙනවා. ඒ වගේම දෙමවුපියන්ට සැලකීම වගේ ගුණධර්ම අපි සැවොම තුළ තිබිය යුතුයි.
රටේ වගකිව යුතු තනතුරක් ලැබුණොත් මොනවද කරන්නේ..
මේ රට අසුන්දර මිනිසුන් ගොඩක් ඉන්න සුන්දර රටක්. මේ රට භාරදීල තියෙන්නෙ නක්ෂත්කාරයන්ටයි, දේශපාලනඥයන්ටයි. කොහෙවත් තියෙන ග්‍රහලෝකයකට ජීවිතය භාරදීල ජීවිතේ නිකන්ම ගෙවා දමන මිනිස්සු කොච්චර මේ රටේ ඉන්නවද? ඒ වගේ තමයි පාර්ලිමේන්තුවේ ඉන්න දෙසිය විසි පහ තමන්ගේ දෙමවුපියන්ගෙන් ලැබුණු දේපොළ වගේ රටේ සම්පත් විනාශ කරනවා. රට අරාජික කරනවා. මට වගකීමක් ලැබුණොත් පළමුව කරන්නේ පිටරටින් එන විදේශ ආධාර සියල්ල නතර කර කිසිම රටකින් උදවු නොගෙන මිනිසුන්ව බඩගින්නේ තියන්න අරින එක. එතකොට කුඹුරක් හරි අස්වද්දන්න උත්සාහ කරයි. එහෙම නැතිවුණොත් හැමදාමත් පිට රටින් හාල් ඇටේ ඉඳන් සියලුම දේවල් එනකම් බලා ඉන්න ජාතියක් විදිහට තමයි ඉන්න වෙන්නේ. ඒ වගේ තමයි පුංචි ළමයාගේ සිට ආකල්ප වෙනස්කළ යුතු වෙනවා. එවිට ඔවුන් හෝ අනාගතයේදී රටට වැඩදායි දේශපාලකයන්, මිනිසුන් ලෙස වැඩ කරයි.
වැඩිපුරම සංචාරය කරන්න කැමැති..
ලංකාව ලෝකයේ තියෙන සුන්දරම රටක්. රටවල් ගණනාවකම සංචාරය කළත් ලංකාවේ වගේ කිලෝ මීටර් පණහෙන් පණහට දේශගුණය සහ භූමිය වෙනස්වන රටවල් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ නිසා අපේ රටේ ඕනෑම තැනක් ලස්සනයි. සංචාරයට සුදුසුයි.
ජීවිතයේ අමතක නොවන සිදුවීම සහ වැරැදුණු තැන්වලදී ළගින්ම හිටියේ..
අමතක නොවන සිදුවීමක් ගැන කතා කරනවා නම් මම එක්තරා චිත්‍රපටයකට පුහුණුවීම් කරද්දී මගේ කකුල කැඩිලා එක්තැන් වෙලා ඉන්න සිදුවුණා මාස දෙකහමාරක් විතර. ඒ වන විට මගේ ෆෝන් එකේ යාළුවො හයදහස් එකසිය අසූවක් හිටියා. ඒ අතරින් මාව බලන්න ආව එක්දහස් දෙසීයක් පමණ. ඒ එක්දහස් දෙසීයෙනුත් විස්සක් විතර නිතරම මගේ දුක සැප සොයා බලමින් මට බෙහෙත් කොටලා දෙමින් මාව සනීප කරන්නට වෙහෙසුණා. ඒ ටික තමයි මගේ දුකේදි සැපේදි සිටින්නේ. ඔවුන් මම වෙනුවෙන් මැරෙන්න වූණත් සූදානම්. ඒ පිරිස අතර මගේ අම්මා සහ බිරියත් සහෝදර සහෝදරියනුත් සිටිනවා.