පිරිමියකු සාර්ථක හෝ අසාර්ථක වන්නේ ඔහු පිටුපස සිටින ගැහැනිය නිසා බව පොදු පිළිගැනීමයි. එසේ නම් දේශයේ පිනට පහළ වූ මහා පුරුෂයන් පිටුපස සිටිය යුත්තේ මහා ස්ත්‍රීන්ය. සිය ස්වාමි පුරුෂයා යුග පුරුෂයකු කිරීම වෙනුවෙන් මහත් කැපවීම් සමුදායක් කර, ජීවිතයේ සැඳෑ සමයේ ඒ මහා සෙවණැල්ල අහිමිව මතක සුවඳ පමණක් විඳින ඒ අපූර්ව කාන්තාව ගැන. ඇය සුමිත්‍රා පිරිස්
"මම හිතන්නේ චිත්‍රපට ගැන මගේ තරුණ වියේ ඉඳන්ම උනන්දුවක් තිබුණු නිසා තමයි ඒ ගැන හදාරන්න ගියේ මුලින්ම. ඒ වුණත් මගේ ඔළුවේ නිච්චියටම තිබුණේ නැහැ මොන විදිහටද මොකක්ද කරන්නේ කියලා. මම විශාඛා විද්‍යාලයේ ඉගෙනගත්තු ගෑනු ළමයෙක්. විෂයයක් හැටියට විද්‍යාව කළේ. ඒ කාලේ ඉතින් මධ්‍යම පන්තියේ හැම ළමයකුම උත්සාහ කළේ දොස්තර කෙනකු හරි ලොයර් කෙනකු හරි වෙන්න. ඒත් සිනමාව ගැන මගේ උනන්දුව තිබුණට, සිංහල සිනමාව, ඒ සංස්කෘතිය ගැන අපි හිටපු පරිසරයේ මගේ සමවයසේ අයට ලොකුවට දැනිලා තිබුණේ නැහැ.
ඒ හින්දා සිංහල චිත්‍රපටයක්වත් බලලා තිබුණෙත් නැහැ. ඒ මුල් යුගයේ තිබුණෙත් ඉතින් ඔය 'සැඩසුළං' හරි 'කඩවුණු පොරොන්දුව' හරි වගේ ඒවා නිසා බටහිර හොඳ චිත්‍රපට මිසක් ඔය කමර්ෂල් ෆිල්ම්ස් බැලුවේ නැහැ. චිත්‍රපට හදාරන්න පිටරට ගිය වෙලාවේ තමයි ඩොක්ටර් පීරිස් මට මුල්ම වතාවට මුණ ගැසුණේ. දැන් අපි ඔහු යුග පුරුෂයෙක් කියලා කතා කරනකොට, කවුරුහරි හිතන්න පුළුවන් ලොකූ, දැවැන්ත පුද්ගලයෙක්ව මම දැක්කා කියලා. ඒත් එහෙම නෙවෙයි බොහොම අහිංසක සාමාන්‍ය මනුස්සයෙක් මට කතා කරලා කීවේ තානාපති කාර්යාලයේදි 'අැයි ප්‍රංශ භාෂාවත් ඉගෙනගෙන තවත් කල් ගත කරන්නේ. එංගලන්තයට ගිහින් චිත්‍රපටයක් හදන්න' කියලා. මුල් වරට මට ඒ බීජය ඔළුවට දැම්මේ ඔහු. මම ඊට කලින් එහෙම කෙනෙක් ඉන්නවාද කියලාවත් අහලා තිබුණේ නැහැ.
ඒත් අපේ අය්යා අඳුනනවා මං හිතන්නේ. මොකද රේඛාව හදපු කාලේ අය්යා කියලා තිබුණා මගේ පොඩි නංගි ප්‍රංශෙ ඉන්නවා කියලා. ආයෙ සන්දේශය කරනකොට අය්යා ලියුමක් එව්වා මෙහෙම චිත්‍රපටයක් කරනවා කැමතිද ආපසු එන්න කියලා. මමත් අවුරුදු තුනක් පිටරට ඉඳලා අැති වෙලා හිටියේ. මටත් හිතිලා තිබුණේ චිත්‍රපට හදනවා නම් අපේ මිනිස්සු ගැන කතා කරන්නේ නැතිව රට ඉඳලා අැති වැඩේ මොකක්ද කියලා. මගෙත් ඉතින් අවුරුදු 22-24 වගේ තරුණ කාලෙනේ."
"ඔබේ පවුල් පසුබිම ඊට බලපාන්න අැති?
"ඔව් අපි පොඩි කාලේ අවිස්සාවේල්ලේ හැදුණේ. දේශපාලන පසුබිමකින් ආවේ. අපි දන්නේ හුඟක් මනුෂ්‍යයෝ ගැන, එන් එම් පෙරේරලා මැලේරියාව හැදුණු අයට බෙහෙත් දුන් හැටි වගේ දේවල්. ඒවා සමාජ සේවයම කියන්න බැහැ. දේශපාලනයෙන් ක්‍රමය වෙනස් කරලා සමාජයට යහපතක් කළ යුතුයි කියන හැඟීම නොදැනුවත්වම ආගමක් වගේ අපේ ලේවලටම කා වැදිලා තිබුණා. බාප්පලා විතරක් නෙවෙයි විවියන් ගුණවර්ධන මගේ කසින් වුණත් එහෙමයි. අනෙක අපි අවිස්සාවේල්ලේ හින්දා ඔය රත්නපුර පැත්තේ සූරියමල් ව්‍යාපාරය වගේ දේවල් කරන්න යද්දි අපේ ගෙදර නැවතිලා යන්නේ. මේ ඔක්කොම මගේ ඔළුවට ආවට මගේ හිතුම් පැතුම් ඔක්කොම මගේ ප්‍රකාශනයක් ලෙස මොන විදිහටද කරන්නේ කියන එක සමහර විට යටි හිතේ අවිඥානිකව රැඳිලා තිබෙන්න අැති.
ඒත් සවිඥානිකව එහෙම දෙයක් තිබුණේ නැහැ. රැකියාවක් ගැන වුණත් අපේ තරුණ කාලේ මේ වගේ තරගයක් තිබුණේ නැහැ. අපට ඕනෙ වුණේ හොඳට රටට මිනස්සුන්ට යහපතක් වෙන්න අපි දන්න දේ බෙදා හදා ගන්න හොඳම මාධ්‍ය මොකක්ද කියන දේ මම මෙයට හැරෙන්න බලපාන්න අැති. මේ දේවල් වුණත් අර... විධිමත් විදිහට නෙවේ, හිතේ කොහේ හරි තිබුණා. අපි ඒ එක්ක වැඩුණා. මම විශේෂයෙන් විද්‍යාව කළ නිසා ලියන කියන දේවල් කවි ලිවීම වගේ දේවලටවත් කිසිම විදිහකින් යොමු වෙලා තිබුණේ නැහැ. මගේ පින්තූරයක් ඉස්සෙල්ලාම පත්තරේක වැටිලා තිබුණේ.කවපෙත්ත විසි කිරීමෙන් පළමුවෙනියා කියලා ඉස්කෝලේ ජූනියර් චැම්පියන් වෙච්ච ක්‍රීඩා පුවතකට. මටම හිනා කොහොමද ඒක පත්තරේ වැටුණෙ කියලා.
"මම සිනමාව ඉගෙනගෙන සන්දේශයට ආවාම තමයි අර ඉගෙනගත්තට වඩා මාවෝ සේතුං කියනවා වගේ අත්දැකීම තරම් වටින දෙයක් නැහැ කියලා තේරුණේ. ඒ චිත්‍රපටයේ වැඩ පටන් ගත්තාම තමයි ඩොක්ට පීරිස් වගේ පුද්ගලයෙක්ව සමීපව අඳුරගන්න පුළුවන් වුණේ. මනුස්සයෙක් වශයෙන් මනුස්සකම, අගය කිරීම පටන් ගන්න අැත්තේ ඒ කාලේ. ඒක තමයි ඉතින් ටිකෙන් ටික අපේ සම්බන්ධයට හේතු වෙන්නත් අැත්තේ. ඔහු තමයි ඉතින් මගේ ජීවිතේ හිටපු එකම ගුරුවරයා, යාළුවා, සැමියා, ඔක්කොම."
"ඒක තමයි මට දැන් නැත්තේ"
"මෙච්චර වයසට ගිහිල්ල වුණත් අන්තිම වෙනකල්ම එයාගෙ කල්පනාව තිබුණා. මම මොකක් හරි කියනකොට හොඳට අහගෙන ඉඳලා ඒකට වචනෙකින් හරි දෙයක් කියනවයි කියන එක මට අර ලොකූ..සහනයක්?"
"ඔබ අධ්‍යක්ෂවරියක් වීමට ඔහුගේ බලපැමක් වුණාද?"
"මෙහෙමයි, මම සන්දේශයේ සහාය අධ්‍යක්ෂිකාවක් කීවට අඛණ්ඩතා සම්බන්ධීකරණයත් කළා. මම පටන් ගත්තේ දුෂ්කරම දුෂ්කර විදිහට මොකද මම එංගලන්තෙ ගිහින් ආවා කියලාවත්, මම විතරයි මුළු කණ්ඩායමේම ගැනු කෙනකුට හිටියේ කියලාවත් වෙනසක් තිබුණෙ නැහැ. ඒ කාලේ මේ කර්මාන්තයට ගැනු කෙනෙක් සම්බන්ධ වෙනවා කීවාමත් පුදුමයි. මගේ අම්මා නැති වුණේ මට අවුරුදු දහතුනක් විතර කාලේ. අම්මා ජීවතුන් අතර හිටියා නම් මේ එකක්වත් කරන්න හම්බෙන්නේ නෑ."
"කියන්න බැහැ මගෙත් සැහෙන ආත්ම ශක්තියක් තිබුණ නිසා අම්මා හිටියානම් ඒ වෙනුවෙන් අරගල කරන්න වුණත් ඉඩ තිබුණා. අම්මාට අසීමිතව ආදරේ වගේම තරුණියක් ලෙස, දුවක් විදිහට අම්මා නැති අඩුපාඩුව දැනුණට, අපේ නිදහස් සිතුවිලි මත අපේ ජීවිත ගොඩ නඟන්නේ කියන ස්වාධීන මතයට සමහර වෙලාවට දෙමව්පියන් බාධාවක් වෙන්නත් පුළුවන්. ඔවුන් හරි වෙන්නත් පුළුවන්. වැරැදි වෙන්නත් පුළුවන්. මට වෙනත් මඟක යන්නත් වෙයි."
ඒ කොහොම වුණත් යමෙක් ප්‍රසිද්ධ චරිතයක් බවට පත්වෙන්න තිබෙනවා නම් මොන ක්ෂේත්‍රයකට ගියත් නම හැදෙනවා. හරියට විශ්වයේ රීතියකට වගේ..."
"වෙන්න පුළුවන් නේද? නැත්නම් කොහෙන් ගිහින්ද මේ සම්බන්ධය අැති වුණේ. මොකද ඩොක්ට පීරිසුත් කලින් පිටරට ජාතිකයෙක් කසාද බැඳලා, දික්කසාද වෙලා, අපි බඳිනකොටත් අම්මා නැතත් අපේ තාත්තා, බාප්පලා ඒ ගැන හිතන්න තිබුණා. මොකද හැම අතින්ම අපි වෙනස්. වයසෙන්, කුලයෙන්, ආගමෙන් වෙනස්. ස්ථිර රැකියාවක් කියලා දෙයක් නැහැ. ඒ ඔක්කොම තියෙද්දි අපි කාටහරි බැඳීමක් ආදරයක් තියෙනවා නම් හැමදේම පැත්තක දාලා පරමාදර්ශී මතයක ඉන්න හින්දා එකතු වෙන්න තරම් අහිංසකයි. ඒත් අද තරුණ පරම්පරාව අපට වඩා දේවල් හොයනවා මයෙහිතේ. ඔබ කියනවා වගේ දෛවය, කර්මය, සොබා දහම, ලෝක ස්වභාවය කියන ඕන වචනයකින් හැඳින්වූවත් ඒ ගමන අපි කොහොමටත් යැවෙනවා. අැත්තටම අපි ආපු යුගයත් වාසනාවන්ත යුගයක් කියල හිතෙනවා දැන් බලනකොට.
ආගම් භේදයක් තිබුණෙත් නැහැ. අපේ ගෙදර වුණත් කිසිම ආගමක රූප නැහැ. ඕන නම් එයාගේ අැඳ ගාව එයාගේ රෝසරි එක (කොන්තේ) තියෙන්න අැති. මගෙත් අල්මාරියේ මගේ බුදු පිළිමේ තියෙන්න අැති. ඊට එහා තමන්ගේ අැදහිල්ල පෞද්ගලිකයි. මම දවසක් ගිලම්පස පූජාවක් බෙල්ලන්විල පන්සලේ තියලා ගැහැනු අයට උඩ මළුවට සිවුර පෙරවන්න දෙන්නේ නැතිව එයා තමයි ඒ දේවල් කළේ. මමත් එයත් එක්ක සෙන්ට් අැන්තනීස් පල්ලියේ කටයුතුවලට යනවා. මමවත් දන්නේ නැහැ එයාගේ භක්තිය කොයි තරම් ගැඹුරුද කියලා. ඒ අයගේ පවුලේ අය තද කතෝලික. ඒත් එයා හැම තිස්සේම කීවේ බෞද්ධ සංස්කෘතියේ ප්‍රේක්ෂකයන්ටනේ මම අමතන්නේ ඉතින් මම වෙන දෙයක් කරලා හරියන්නේ නැහැ කියලයි. මම දෝනා කතිරිනා කරන්න ගියාමත් එයා කීවේ ඒක හරියන්නේ නැහැ කියලා. පස්සේ එය කෙරුණේ නැහැ. එයා ආව පසුබිමට වඩා සම්පූර්ණ වෙනස් පසුබිමක ජීවත් වීමට හැකි වීම තමයි එයාගේ විශේෂත්වය.
අනෙක මුදල් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නැහැ.. එයා පොඩි කාලේ ඉඳන් කියලා තියෙන්නේ 'මම පෝප් කෙනෙක් වෙනවා' කියලා. මමත් කියනවා ඔයා නිකං පන්සලේ හාමුදුරුවො වගේනේ මුදලක් හිතන්නේ නැහැ, බැංකුවකට ගිහින්ම නැහැ මං හිතන්නේ. අනෙක් අතට හරිම විවෘතයි. අපි බැඳලා අවුරුද්දක්වත් නැහැ මයෙ හිතේ මෙක්සිකෝවලට ටිකට් තුනක් ආවා. හෙන්රිටයි පුණ්‍යාටයි ඩොක්ට පීරිස්ටයි. එයාගේ ටිකට් එක මට දුන්නා. මම ගිහිල්ලා ලෝකේ වටේම ටිකට් එක හරවාගෙන රවුම් ගැහුවා. ඒ කාලේ මේ වගේ ටෙලිෆෝන්ස් නැහැ. එයා පරසතුමල් කරන කාලේ. කට්ටිය අැහුවාම කියනවලු 'මම දන්නේ නැහැ සුමිත්‍රා ලොකේ කොහේ ඉන්නවාද කියලාවත් කවදා එයිද කියලාවත්' කියලා. ඒ තරම් පුදුම විශ්වාසයක් අපි අතර තිබුණා. එතකොට විශ්වාසය කඩන්නත් බැහැ. අනෙක එයා දන්නවා මම ටිකක් මුරණ්ඩුයි, ඒ වගේම මාස කීපයක් බෝට්ටුවක ගිය කෙනෙක් නිසා එහෙම අනවශ්‍ය විදිහට පාලනය කරන්නත් බැහැ කියලා. ඉතින් එතනදි මට ඉඩ දෙනවා. හැබැයි කවුරු හරි පිට අය ඉදිරියේ මම එයාට චැලෙන්ජ් කළොත් ඒ ගැන නම් ටිකක් අහනවා අැයි එහෙම කළේ කියලා. ඒ සංවාදෙට පස්සේ ඉතිං ආයේ ප්‍රශ්නයක් නැහැ. ඒ වගේ පුදුම බැඳීමක් අපි අතර තිබුණේ.
"දරුවකු සිටියානම් ඔබේ ගමන වෙනස් වෙන්න තිබුණාද?"
"මුල් යුගයේ අපි චිත්‍රපටවලටම බැඳිලා හිටියා. ඊට පස්සේ අපි කල් දැම්මා. සමහරවිට ඩොක්ට පීරිස්ට හිතිවිල්ලක් තියෙන්න අැති මම නියම අම්මා කෙනකුගේ වගකීම ගනීද කියන බයක් වගේ. අනෙක් එයා සාම්ප්‍රදායිකව හිතන්නෙත් නැහැ. එයාගේ අය්යලාට හිටියට මල්ලිටත් දරුවන් නැහැ. සමහරවිට නිර්මාණකරණයට බාධාවක් වෙයි කියලා හිතුවද, ගෘහණියක් හැටියට මාව නොදැක්ක නිසාද දන්නේ නැහැ. මම උයලා පිහලා කන්න දෙයිද කියලාවත් ගේ අස්පස්කරලා දෙයිද කියලා හිතුවේ නැහැ. මම ගෙදරට දේවල් ගත්තත් කියන්නේ කිසි විනයක් නැතුව ඔහේ ගන්නවා කියලා. ඒත් එයාගේ අැදුම් වුණත් ගන්නේ මම. ඉතින් මම සූට් තුනක් ගත්තාම එයා එකක් විතරක් අඳින වෙලාවල් තිබෙනවා. එයාට ඔය සාප්පු ගානේ ගිහින් අැඳුම් ගන්න උනන්දුවක් තිබුණෙත් නැහැ. හැබැයි අත්දිගට කමිසේ අැඳලා පිළිවෙළට ඉන්න කැමතියි. මම සල්ලි කළමනාකරණය කරන්නේ කොහොමද කියලා අැහුවෙත් නැහැ. ඒ යුගයේ අපි චිත්‍රපටවලට වියදම් කළ මුදලින් ලොකු පාඩු වුණෙත් නැහැ. එයාට ඕන වුණේ හදන චිත්‍රපටය ගෙදර තියාගෙන අගෞරව වෙනවාට වඩා ප්‍රේක්ෂකයන් අතරට ගෙන යන්නයි.
හැබැයි හරියටම ඕන දේවල් ටිකක් තිබුණා. කැම ටික මිරිස් නැතිව හදලා, හරියට මේසේට අැරලා, විස්කි එක හවසට බොනවා නම් සෝඩා ටික හරියට තියලා, ඒ චූටි දේවල්වලින් තමයි සතුටු වන්නේ. සෙට් එකේදි වුණත් ඒ පිළිවෙළ හෙව්වා."
"අද ඔබට මොකද හිතෙන්නෙ?"
"මට හිතන්න බැරි තරම් පාළු හිතෙනවා. ඩොක්ට පීරිස් නැති වුණ මොහොතේ වේදනාව කොච්චර තිබුණත් මට හයියෙන් අඬලා ඒ වේදනාව එළියට දාන්න තරම්... මංදන්නැ මට මොකද වුණේ කියලා. ඒ වුණාට දැන් නම් මට හැම තිස්සේම දුක හිතෙනවා. පෙළක් වෙලාවට මෙහෙම කතා කරද්දි වුණත්..."
"ඒ පාළුව මම හිතන්නේ නැ මකන්න පුළුවන් වෙයි කියලා. සරසවිය උත්සවේ වෙලාවේ අන්තිමට එයාගේ කටහඬ දාලා තිබුණෙ. ඒ වෙලාවේ මම හිතුවා මට සිහිය නැති වෙයි කියලා. ඒ වේදනාව මට වචනවලින් කියන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.
"ඔබට වරයක් ලැබුණොත්?"
"අනේ! ආයේ මට එයාව හම්බවෙයි කියලා හිතනවා. හැමදාම රැට මම හීනෙන් දකින්නේ එයත් එක්ක චිත්‍රපටයක් ගැන කතා කරනවා වගේ ලොකේෂන් බලනවා වගේ දේවල්. ඊයේ රැත්.."
"ඒ හමුවිය යුත්තේ කොයි ලෙස්ටර්ද?"
"අපේ මතකයත් හරි පුදුමයි. අපි කොයි තරම් සුන්දර කාල ගත කළාද? ඒවා අමතකයි. මට මතක එයා අසරණ වෙච්ච කාලේ තමයි. එයා ඒ පුටුවේ වාඩිවෙලා හිටියත් අැති."
අරුණි මුතුමලී