ආදරය කියන්නේ පාරමිතාවක්ද?. කෙනෙකුගෙන් තවත් කෙනෙකුට පිරිනැමෙන උත්තරීතර හැගුමක්ද කියලා හරියටම කියන්න බැරි අය බොහොමයි. මොනතරම් ආකර්ෂණයක් තිබුණත් ඉල්ලීම් ආරාධනාවන් ලැබුණත් එකවර ආදරයක් දෙන්න පුළුවන් එක් හිතකට විතරයි. එහෙම පවසන්නේ යෞවනයේ අතිශය ආකර්ෂණීය චරිතයක්. ඔහු හර්ෂ තෙන්නකෝන්. මේ ඔහු කියන කතාවයි
හර්ෂගේ ආදරය කියන හැගීම බෙදාගන්නේ කොහොමද ?
මගේ ජීවිතයේ කිසිම දවසක කවදාවත් එක්කෙනෙකු ඉද්දි තව කෙනෙක් එක්ක සම්බන්ධයක් තියාගෙන ඉදලා නැහැ. මම එක්කෙනෙකුට ආදරය කළා නම් මගේ ජිවිතයේ හිටියේ එයා විතරමයි. නොගැලපීම් තේරුම්ගන්න බැරිකම වැනි හේතුවක් මත ඒ ආදරය අවසන් වුණාට පසුවයි මම තවත් ප්‍රේම සම්බන්ධයක් පටන් අරන් තියෙන්නේ. එකවර කිහිප දෙනකුට ආදරය කරන්න හැකියාවක් හෝ දක්ෂතාවයක් මට නැහැ. අද කාලේ එක පුද්ගලයෙක් එකවර කිහිපදෙනකුට ආදරය කරනවානේ.
හර්ෂගේ ජීවිතයේ තීරණාත්මක සමයේ ඔබ ළග රැදුන ආදරවන්තිය කවුද ?
අවුරුදු දහඅටේ ඉදන් විසිතුන වෙනකම්ම මගේ ජීවිතයේ කිසියම් පරිවර්තන කාලයක්. ඒ කාලයේ ජීවිතයේ ආදර කතා මගෙන් දුරක තිබුණේ. පොත්පත් කියවන්න නාට්‍ය බලන්න චිත්‍රපට බලන්න ජීවිතය වෙනස් කරගන්න මම උත්සාහ කළා. අවුරුදු විසිතුනේදී තමයි මම ආදර කතාවක් නැවත පටන් ගන්නේ. ඇය මාත් එක්ක නාට්‍ය බලන්න ගිය මිතුරෙකුගේ සොහොයුරියක්.
ඒ ආදර කතාවද අද ඔබ ළග රැෙදන්නේ?
නැහැ. ඒ ආදරයත් අතර මගකදී නතර වෙනවා.
ඔබේ තිබුණ දඩබ්බරකම් මත හැමවිටම ඔබට ආදරය අහිමි වෙනවාද ?
ආදරය නිසා මම දුක් විදලා තියෙනවා. පොඩි කාලේ ඉදන්ම දඩබ්බරකම් තිබුණට ගැහැණු ළමයි කවදාත් මාව දාලා ගිහින් නැහැ. මගේ ජීවිතයේ තිබුණ ආදර සබදතා නැතිවුණා නම් ඒ අය මාව දාලා ගිය නිසා නෙවෙයි” මම ම ඒ ආදර කතා හැරගිය නිසයි. මට විරහ වේදනාව කියලා දෙයක් තිබිලා නැහැ. කෙනෙක් මාව දාලා ගියානම් එයාට ඉඩ හැරියා මිස පස්සෙන් ගිහින් රදවන්න හදන කෙනෙක් නෙවෙයි. මගේ විදිහ ඒකයි.
අද දවසේ හර්ෂගේ ආදරය අයිති කාටද ?
දැන් මගේ ආදරය මගේ බිරියටයි මගේ පුතාටයි.
අද දවසේ ඔබ විදින ආදරය හමුවන්නේ කොහොමද ?
මම උසස් අධ්‍යාපනයට කැම්පස් ගිය කාලේ එයා විශ්වවිද්‍යාලයේ අවසන් වසරේ සිසුවියක්. අපි පොදුවේ යහළුවන් එක්ක කතා කරද්දි එයත් මාත් එකක් කතා කරනවා. එයා එක විදිහකට මගේ රසිකාවියක් වෙලා ඉදලා තියෙනවා. පස්සේ අපි දුරකථනයෙන් හා මුහුණුපොතෙන් කාලයක් කතාකරමින් ඉන්නවා. පස්සෙ මම එයාට කියනවා අපි මුණගැහෙමු කියලා. එයා කියනවා බැහැ කියලා. කොහොම හරි අපි මුණගැහෙනවා. ඊට පස්සේ ආදර සම්බන්ධයක් ඇතිවෙනවා. ඒ ආදරය තමයි ඵල දරලා අපි විවාහ වෙලා අද දවසේ පුංචි පුතෙකුගේ සෙනෙහසත් අප අතරට කැන්දාගෙන ඇවිත් තියෙන්නේ.
පාසැල් වියේ ආදර කතා ගැන මතකය කොතරම් සුන්දරද? ?
ඉස්කෝලේදී මම එපාම කරපු ළමයෙක්. මම කොච්චර හොදයිද කියනවා නම් මාස හයක විතර කාලයක් මාව ඉස්කොලේට අරගන්නේ නැතිව හිටියා. ඉස්කෝලේ යහළුවන් ගමේ යහළුවන් අතරේ ටියුෂන් පන්තියේ රණ්ඩුවක් තියෙනවා නම් මේ හර්ෂත් ඒ රණ්ඩුවල ප්‍රධාන සාමාජිකයා වෙලා හිටියා.
නවය වසරේ ඉදන් ආදර කතන්දර තිබුණා. ගැහැණු ළමයිගෙන් යාළුවෙන්න අහනවා” යාළුවෙනවා තරහ වෙනවා. ඒ අතරේ මගේ ජීවිතයේ තිබුණ දඩබ්බර කම්වල ප්‍රතිඑලයක් විදිහට අපේ ගෙදර අය යම් කාලෙක වේයන්ගොඩ මොට්ටුන්නේ ඉදලා අපේ ගම වෙන මරදානේ මහ ගෙදරට මාව එවන්න තීරණය කරනවා. ඒ ආවට පස්සේ මම ජීවිතය වෙනස් කරගන්න ඕනෑ කියලා මට දැනෙන්න පටන් ගන්නවා. මොකද අම්මයි” අප්පච්චියි” මගේ දඩබ්බරකම් ගැන ගොඩක් දුක්වෙලා හිටියේ. මොනවා කළත් මාව හදන්න බැහැ කියලා.
රංගනය අහම්බයක්ද ?
ඔව් ඒක අහම්බයක් මම ගම්පහ ටියුෂන් පන්ති යද්දි කොල්ලො එක්ක ගහගෙන මට ටියුෂන් පන්තිවලට යන්න බැරි වාතාවරණයක් ඇතිවෙනවා. එතැනදී කුඩා කණ්ඩායම් පන්තිවලට ගිහින් තමයි මම විභාගය සමත් වෙන්නේ. එතැනදී මුණගැහුණ ගුරුවරු දෙන්නෙක් මගේ මේ ගමනට පෙළඹෙව්ව තැනක් වුණා. ඊට පස්සෙ මම උපාධිය හදාරන්න පටන් ගන්න කාලේ තිළිණ කියලා යාළුවෙක් හමුවෙනවා. ඔහු නාට්‍ය රසවතෙක්. ඒ හමුවීම් කෙළවර මම නළුවෙක් වෙනවා.
ධම්මිකා සුරංජි පතිරණ