සිය 20 හැවිරිදි බිරිඳ මැදපෙරදිග රැකියාවට යවා බේරුවල වරායේ බහුදින යාත්‍රාවල කුලී පදනම මත මුහුදු රැකියාව කරමින් මත්කුඩු ජාවාරමක් , සොරකම් රැසකුත් සිදුකර සැගව සිටි 23 හැවිරිදි විවාහක දෙදරු පියකු වන සැකකරුවකු බේරුවල කිරිපට්ටිය වත්ත ප්‍රදේශයේ දී බේරුවල පොලිසිය ඊයේ (14) අලුයම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු තදින් මත්කුඩුවලට ඇබ්බැහි වූවකු බවත් බේරුවල කූඹිකැලේ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරම් කරුවෙකුගේ තැරැව්කරුවකු වශයෙන්ද , මත්කුඩු අලෙවි කර දිනපතා රුපියල් 12000 පමණ මත්කුඩු පානය කරමින් විවිධ සමාජ විරෝධී ක්‍රියාකාරකම් වලද නිරත වන අයකු බවත් හෙළි වෙලා. තවද ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ සැකකරුගේ කලිසම් සාක්කුවේ තිබී මත්කුඩු මිලිග්රැම් 2190ක ප්‍රමාණයක්ද සොයාගත් බව පොලිසිය කියයි.
මෙම සැකකරුගෙන් දීර්ඝ ලෙස පොලිසිය කළ ප්‍රශ්න කිරීමේදී මීට මාස හයකට පෙර බේරුවල කරද ගොඩ නිවසකින් රුපියල් 46000ක් වටිනා රූපවාහිනියක් සොරා ගෙන එය රුපියල් 8000කට විකුණා තිබෙන බවත්, බේරුවල ප්‍රදේශයේ මුස්ලිම් පාසලක් ආසන්නයේ තිබූ රුපියල් 20000 වටිනා කාන්තා පාපැදියක් සොරකම් කර එයද රුපියල් 4000කට විකුණා ඇති බව සොයාගෙන තිබෙනවා. තවද කන්කානම් ගොඩ ප්‍රදේශයේ නිවසකින් සොරකම් කරන ලද ගෑස් ටැංකියක් හා වළං කට්ටලයක් සුළු මුදලකට ද විකුණා මුදල් ගෙන මත්කුඩු පානය කර තිබෙන බව පොලීසිය අනාවරණය කර ගත් බව පැවසේ.
සැකකරු මත්කුඩු ජාවාරමට සම්බන්ධ කූඹිකැලේ මහමොළකරු එම ප්‍රදේශයෙන් පලා ගොස් ඇති අතර එම සැකකරුද අත්අඩංගුවට ගැනීමට පොලිසියේ විමර්ශන සිදු කරයි.
අත්අඩංගුවට ගත් සැකකරු කළුතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.