එළැඹ ඇති ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය පිළිබඳව කතා කරන්නට ශ්‍රී ලාංකිකයන්ටද අයිතියක් මතුව තිබේ.
මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරය සඳහා තරග වදින ඇය නමින් ක්‍රිෂාන්ති ඔමාරා විග්නරාජාය. නමුත් ඇය වඩාත් ප්‍රකට ක්‍රිෂ් විග්නරාජා ලෙසිනි.
ශ්‍රී ලාංකික දමිළ සම්භවයක් සහිත ක්‍රිෂ් වසර 1980දී මවුපියන් සමඟ ඇමෙරිකාවට පැමිණෙන විට ඇයට යාන්තම් මාස 09ක් පිරුණා පමණි.
ඒ වන විටත් ක්‍රමයෙන් වර්ධනය වෙමින් පැවැති වර්ගවාදී අර්බුද නිසා ඇගේ මවුපියන් වන සූති සහ එලී වින්නරාජා ඇමෙරිකාව වෙත පලා ඒමට තීරණය කොට තිබිණි.
මේරිලන්ඩ් බලා පැමිණි ඔවුන් අත වූ එකම වත්කම වූයේ ඇමෙරිකන් ඩොලර් 200ක මුදල පමණි.
ක්‍රිෂ්ගේ මවට හා පියාටද බැල්ටිමෝර් රජයේ පාසල්වල ගුරුවරුන් ලෙස කටයුතු කිරීමේ අවස්ථාව සැලසිණි. බැල්ටිමෝරයේ වුඩ් බි්රජ් ප්‍රාථමික පාසලෙන් අධ්‍යාපනය ආරම්භ කළ ක්‍රිෂ් තම උසස් අධ්‍යාපන කටයුතු වුඩ්ලන්ඩ් උසස් පාසලෙන් නිම කළාය.
අනතුරුව යේල් සරසවියෙන් දේශපාලන විද්‍යාව පිළිබඳ ශාස්ත්‍රපති උපාධිය මෙන්ම අණුක විද්‍යාව පිළිබඳ බී.එස්.සී උපාධියද ලැබුවාය.
මේ අතර බුද්ධිමත් තරුණ සිසුන්ට හිමිවන මාර්ෂල් ශිෂ්‍යත්වයද ලබා ඔක්ස්ෆර්ඩ් සරසවියෙන් ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ර්.ර්ථීඩඪත උපාධියද හිමිකර ගනිමින් යේල් නීති විද්‍යාලයෙන් නීති උපාධියද සම්පූර්ණ කළාය.
ක්‍රිෂ් උසස් අධ්‍යාපනය ලද කාලය තුළ විලියම් නෙල්සන් කොන්වෙල් තිළිණය, බෙන්ජමින් ෂාර්ප්ස් තිළිණය, ජෝසප් පාකර් තිළිණය, පොටර් ස්ටුවර්ඩ් තිළිණය සහ තුර්මන් ආර්නෝල්ඩ් තිළිණය වැනි විශිෂ්ට සිසුන් වෙනුවෙන් පිදෙන තිළිණද හිමිකරගත් අති දක්ෂ සිසුවියකි.
නීති ක්ෂේත්රයේ රැකියා කීපයක නිරත වූ ක්‍රිෂ් 2011 ඔක්තෝබර් මාසයේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ලේකම්වරු වූ විලියම් බර්න්ස් සහ තෝමස් නයිඩ්ස් දෙදෙනාගේ ජේයෂ්ඨ උපදේශිකාවක ලෙස පත්වීමක් ලැබුවාය.
එම කාලය තුළ ඇය රාජ්‍ය දෙපාර්තමේන්තුවේ පෞද්ගලික අංශයේ ආයෝජන, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සබඳතා, සෞඛ්‍ය පිළිබඳ සංවර්ධන උපාය මාර්ගයන්, ආහාර සුරක්ෂිතතාව, දේශගුණික වෙනස්කම්, තරුණ හා ආගමික නිරතවීම්, ගෝලීය කාන්තා ගැටලු සහ අප්‍රිකාවට හා මැද පෙරදිගට අදාළ කලාපීය ගැටලු ආදී විෂයයන් සඳහා තම උපදේශන ලබා දුන්නාය.
එසේම ඇය ජෝජ් ටවුන් විශ්වවිද්‍යාලයේ ජාත්‍යන්තර නීතිය සහ ඇමෙරිකාවේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ දේශකවරියක ලෙසද කටයුතු කළාය. වසර 2015 මුල් භාගයේදී ක්‍රිෂ්, මිෂෙල් ඔබාමාගේ නව ප්‍රතිපත්ති අධ්යක්ෂ ධුරයේ වැඩ භාර ගත්තාය.
ධවල මන්දිරය තුළදී ඇය 'ලෙට් ගර්ල් ලර්න්' නම් වැඩසටහනක් ක්‍රියාත්මක කරමින් ගැටවර වියේ ගැහැනු දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබා දීම සඳහා රාජ්‍ය ආයතන, පෞද්ගලික අංශයේ හවුල්කරුවන් සහ විදෙස් රාජ්‍යයන් එකට එක් කිරීමේ මෙහෙවරක නිරත වූවාය.
ඔබාමා පාලනයෙන් අනතුරුව ධවල මන්දිරයෙන් ඉවත්වූ ක්‍රිෂ් ජෙනරේෂන් ඉම්පැක්ට් නමින් තමන්ගේම සමාගමක් ආරම්භ කළාය.
මේ සියලු අත්දැකීම් ඔස්සේ තමන් මේරිලන්ඩ් ප්‍රාන්තයේ ආණ්ඩුකාර ධුරයට තරග වදින බව පසුගියදා ඇය ප්‍රකාශ කළාය. ඒ ඩිමොක්රටික් පක්ෂයෙනි.
'මේ මේරිලන්ඩ් ප්‍රාන්තයට නව පරම්පරාවකට නායකත්වයක් අවශ්‍ය කාලයයි. අපේ දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවන්න, වැඩි වන වියදම් පාලනය කරන්න අලුත් අදහස් හා ප්‍රතිපත්ති ඕනෑකර තිබෙනවා' ඇය පවසන්නීය.
ක්‍රිෂ් මේ වනතුරු ශ්‍රී ලංකාවේ ජීවත් වූයේ නම් ඇතැම් විට අදටත් ක්‍රිෂාන්ති පමණක් වී වර්ගවාදී යුද්ධයෙන් බැට කන තවත් කාන්තාවක් වී සිටීමට ඉඩ තිබිණි.
නමුත් ඇගේ දෛවය ඊට ඉඩ තැබුවේ නැත. ක්‍රිෂ් අපට නුඹ ගැන සතුටුය. ඒ නුඹ ලෝක බලවතාගේ එක් ප්‍රාන්තයක් ආණ්ඩු කිරීමට අඩියක් ඉදිරියට තැබීමට සමත් වූ නිසාය.
එසේම අපට අප ගැන දුකක්ද සිතේ. ඒ නුඹ වැනි කතක් වර්ගවාදී යුද්ධය විසින් අප රටට අහිමි කළ බැවිනි.
ගැමුණු රත්නායක