මොහොමඩ් නිසාම්ඩින් නම් ශ්‍රී ලාංකික සරසවි සිසුවාට ත්‍රස්තවාදී චෝදනා එල්ල කිරීමට ඔහුගේ මිතුරෙකු විසින් සැලසුමක් දියත් කර ඇති බවට ඔස්ට්‍රේලියානු ත්‍රස්ත විමර්ශන අංශ සැක පළ කරනවා. එම සැලසුම දියත් කළ මිතුරා ඔස්ට්‍රේලියානු ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩක උස්මාන් කවාජාගේ වැඩිමහල් සහෝදරයා බවට විමර්ශන අංශ සැක පළ කරන බව එරට ටෙන් ප්‍රවෘත්ති නාලිකාව අද පස්වරුවේ විශේෂ වාර්තාවක් ගෙන එමින් සඳහන් කළා.
හිටපු ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍යවරයා ඇතුළු ප්‍රමුඛ පෙළේ දේශපාලන නායකයින් ඝාතනය කිරීම සහ එරට ප්‍රසිද්ධ ස්ථානවලට ත්‍රස්තවාදී ප්‍රහාරයක් එල්ල කිරීමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා කරමින් මොහොමඩ් නිසාම්ඩින් පසුගිය අගෝස්තු මාසයේදීයි එරට පොලිසිය අත්අඩංගුවට ගත්තා.
මාසයක් රක්ෂිත බන්ධනගාරයේ ගත කළ නිසාම්ඩින් සිඩ්නි මධ්‍යම ප්‍රාදේශීය අධිකරණය මගින් ඇප මත නිදහස් කළා.
ඒ, ත්‍රස්ත කුමන්ත්‍රණයේ සැලසුම් ඇති බවට සොයාගත් සටහන් පොතේ අත්අකුරු නිසාම්ඩින්ගේ අත්අකුරු සමඟ නොගැලපීම හේතුවෙන්.
අනතුරුව එරට පොලිසිය නිසාම්ඩීන්ට එරෙහි චෝදනාද ඉල්ලා අස්කරගැනීමට කටයුතු කළා.
මේ වන විට ඔස්ට්‍රේලියානු ත්‍රස්ත විමර්ශන අංශ සැක පළ කරන්නේ මෙම ත්‍රස්තවාදී ප්‍රහාරය සඳහා මොහොමඩ් නිෂාම්ඩීන්ව හසු කිරිමට සැලසුමක් දියත්ව තිබුණේද යන්නයි.
ඒ අනුව නිෂාම්ඩින් සමඟ සේවය කළ ඔහුගේ මිතුරෙකු වෙත විමර්ශන අංශවල අවධානය යොමු වි තිබෙනවා.
ඔස්ට්‍රේලියානු ටෙන් ප්‍රවෘත්ති නාලිකාව වාර්තා කළේ එම පුද්ගලයා උෂ්මාන් කවාජා නැමති ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාගේ වැඩිමහල් සහෝදරයා බවයි.
ත්‍රස්ත කුමන්ත්‍රණයේ සාක්ෂි සොයා ඔහුගේ නිවස පොලිසිය විසින් විශේෂ සෝදිසියකට ලක්කළ බවද එම නාලිකාව වාර්තා කළා.
මොහොමඩ් නිසාම්ඩීන් ත්‍රස්ත කුමන්ත්‍රණය සැලසුම් කළ බවට චෝදනා කරමින් ඔත්තුව ලබාදුන්නේ එම මිතුරාද යන්න මෙතෙක් අනාවරණය වී නැහැ.