මිත්තනිය සමඟ සිටි වයස අවුරුදු 14 ක දියණියක් සිය මාමා විසින් අපයෝජනයට ලක් කළ පුවතක් බදුල්ලෙන් වාර්තා වෙනවා.
එම දැරියගේ පියා මිය ගොස් ඇති අතර මව සිටින්නේ විදේශගතවයි. ඇය එම පවුලේ වැඩිමහල් දියණිය වන අතර ඇයට බාල නැගණියක්ද සිටින බව සඳහන්.
2011 සිටම දැරියට මෙම අතවර කිරීම් සිදුවී ඇති අතර ඇය වැඩිවිය පැමිණි 2014 වසරෙන් පසුවත් ඇය වරින් වර දූෂණයට ලක්ව ඇති බව පොලීසිය පවසනවා.
37 හැවිරිදි එම සැකකරු කොළඹ ප්‍රදේශයේ රැකියාවක නිරතව සිට ඇති අතර ඔහු නිවසට එන වග දැනගත් දැරියන් දෙදෙනා ඔහුට බියේ කැලෑවේ සැඟවී තිබෙනවා.
ඉන් අනතුරුවයි ඔවුන් පොලිස් හදිසි ඇමතුම් අංක 119ට සිද්ධීය දැනුම් දී තිබෙන්නේ.
දැරියන් දෙදෙනාම බදුල්ල මහ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පරික්ෂණයකට ලක්කර අධිකරණ නියෝගයක් මත පරිවාස බාරයට පත්කිරීමට කටයුතු කළ බව බදුල්ල පොලීසිය වැඩිදුරටත් සඳහන් කළා.
සැකකරු තවමත් අත්අඩංගුවට ගෙන නොමැති අතර පොලීසිය විසින් ඒ සඳහා මෙහෙයුම් දියත් කර තිබෙනවා.