මධුසමය ගතකිරීමට ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික යුවලක් මත්පැන් පානය කර අධික ලෙස මත්වී ඔවුන් නවාතැන්ගෙන සිටි හෝටලය මිලදී ගත් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම සිදුවීමට මුහුණ දී ඇත්තේ Gina Lyons නමැති 33 හැවිරිදි අයෙකු සහ Mark Lee නමැති 35 හැවිරිදි විවාහක යුවලක්.
ඔවුන් පසුගිය 2017 වසරේ දෙසැම්බර් මාසයේ ශ්‍රී ලංකාවට පැමිණ ඇත්තේ මධුසමය ගතකිරීම සඳහායි.
එහිදී ඔවුන් නවාතැන්ගෙන ඇත්තේ තංගල්ල ප්‍රදේශයේ පිහිටි වෙරළබඩ හෝටලයකයි. ඔවුන් එම හෝටලයේ නවාතැන්ගෙන සිටි එක් රාත්‍රියකදීයි මෙම සුවිශේෂ සිදුවීම වන්නේ.
අධික ලෙස බීමතින් සිටි මෙම යුවළ එහි සේවකයෙකු සමඟ කතාබස් කරමින් සිටියදී අදාළ හෝටලයේ බදුකාලය මේ වන විට අවසන්ව ඇති බව ඔහු පවසා තිබෙනවා.
අධික ලෙස මත්වී සිටි යුවල එහිදී එක්වරම පවසා ඇත්තේ තමන් එම හෝටලය වසර තුනකට මිල දී ගන්නා බවයි. අවුරුද්දකට හෝටලයේ බදු මුදල පවුම් 10,000 ක් වන අතර අදාළ බ්‍රිතාන්‍ය ජාතික යුවළ විසින් පවුම් 30000ක් ගෙවා එම හෝටලය ගැනීමටයි එකඟවී ඇත්තේ.
පසුව එම මුදලින් අඩක් එනම් පවුම් 15000ක් ගෙවා එහි නීතිමය කටයුතු අවසන් කර ඇති බවත් එම වාර්තා පෙන්වා දෙනවා.
ගෙවිය යුතු ඉතිරි මුදල 2019 වසරේ ගෙවීමටයි ඔවුන් එකඟ වී ඇත්තේ. මේ අතර එහිදී එම යුවල පසුව මාධ්‍ය වෙත ප්‍රකාශ කර ඇත්තේ තමන් අධික ලෙස බීමතින් ගත් එම තීරණය ආකර්ෂණීය බවයි.
පවුම් 7,000 ක් නීති ගාස්තු වශයෙන් සහ පවුම් 6,000 ක් හෝටලයේ නවීකරණ කටයුතු සඳහා වැයකරන්නට සිදුවූ බවයි Gina Lyons සහ Mark Lee සිනාසෙමින් පවසන්නේ.