"ඒ මොහොතේ මම ඔහුගෙන් මිදිලා එළියට දුවගෙන ආවා.."
"ඒ සිදුවීම ගැන හෝටලයට පැමිණිලි කළත් වැඩක් වුණේ නැහැ.."
ලෝක කුසලානය දිනු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක අර්ජුන රණතුංගට ලිංගික අතවර කිරීමේ චෝදනාවක් තිබෙන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කර තිබෙනවා. මෙම වාර්තාව සදහන් කරන්නේ ඉන්දීය ගුවන් සේවිකාවක් විසින් සමාජ මාධ්‍ය ජාල පණිවිඩයක් තබා තිබෙන බවයි. ඇය වැඩිදුරටත් සදහන් කර තිබෙන්නේ මෙම සිදුවීමට මුහුණ දුන්නේ වර්ෂ 1998 වර්ෂයේ බවත් ඒ තමන් ගුවන් සේවිකාවක් ලෙස සේවය කරමින් සිටි කාලවකවානුවේ බවයි.
මුම්බායි හි හෝටලයකදී තමන් මෙම සිදුවීමට මුහුණ දුන් බවත් ඇය සිය ෆේස්බුක් ගිණුමේ තබා ඇති සටහන මගින් හෙළිකර තිබෙනවා.
තමන් ඇතුළු මිතුරන් පිරිසක් මුම්බායි හෝටලයකදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් රැඳී සිටින අයුරු දුටු බවත් ඔවුන්ගේ සමරු සටහන් ලබා ගැනීම සදහා එම ක්‍රීඩකයින් රැඳී සිටින හෝටලය කරා ගිය බව ඇය ප්‍රකාශ කර තිබෙනවා. එම අවස්ථාවේ හෝටලයේ පිහිණුම් තටාකය ආසන්නයේදී ශ්‍රී ලංකා පිලේ හිටපු නායක අර්ජුණ රණතුංග තමන්ගේ ශරීරය අනවශ්‍ය ලෙස ඇල්ලු බවත් වහා ඔහුගෙන් මිදී එලියට දිව ආ බව එම ගුවන් සේවිකාව සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.
තමන්ට මුහුණ දීමට සිදුවූ සිදුවීම ගැන ශ්‍රී ලංකා ක්‍රීඩකයින් රැඳී සිටිය මුම්බායි හෝටලයේ අමුත්තන් පිළිගැනීමේ කවුන්ටරයේ සේවයේ යෙදී සිටින අයට දැනුම් දුන් බවත් ඔවුන් එහිදී ප්‍රකාශ කළේ මෙය පෞද්ගලික සිදුවීමක් බැවින් ඔවුන්ට ඒ පිලිබදව කිසිවක් සිදුකල නොහැකි බවයි.
මෙම ගුවන් සේවිකාව විසින් තමන්ට මුහුණ දීමට සිදුවූ වෙනත් ලිංගික හිංසනයන් පිළිබඳව තොරතුරුද සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබෙනවා.