තැලසීමියාව රෝගය වැලඳී සිටින දරුවාට හා තමන්ට පහර දෙමින් සැමියා කරන අඩන්තේට්ටම් උහුලා ගැනීමට නොහැකිව අවස්ථා හතරකදී දුම්රියට පැන දිවි තොර කර ගැනීමට උත්සාහ කළ තරුණ දෙදරු මවක් පස්වැනි අවස්ථාවේ ගත් උත්සාහය සාර්ථක කර ගනිමින් උතුරු දුම්රිය මාර්ගයේ ගමන් කළ ඉන්ධන දුම්රියකට ගෙල තබා මිය ගොස් තිබෙනවා.
වේයන්ගොඩ ප්‍රදේශයේ සැමියා සමඟ පදිංචිව සිටි 28 හැවිරිදි දෙදරු මවක් දහවල් උතුරු දුම්රිය මාර්ගයේ අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානය ආසන්නයේ පිහිටි දුම්රිය හරස් මාර්ගයේදී කොළඹ සිට අනුරාධපුරයට ඉන්ධන ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියකට ගෙල තබා දිවි තොරකර ගත් අතර ඇගේ හිස කඳින් වෙන්වී තිබුණු බවද සදහන්.
දුම්රිය සෙමින් ධාවනය වන අවස්ථාවේ ඇය මාර්කට් පෙදෙසේ සිට එක්වරම පැමිණ දුම්රිය මාර්ගයේ දිගාවූ බව සිද්ධිය දුටුවෝ පවසා තිබෙන අතර මියගිය අයට වයස අවුරුදු 10ක හා වයස අවුරුදු 4ක දරු දෙදෙනකු සිටින බවත් වැඩිමහල් පුත්‍රයා තැලසීමියාව රෝගයෙන් පෙළෙන්නකු බව ඇයගේ මව අනුරාධපුර ශික්ෂණ රෝහලේ පැවැති මරණ පරීක්ෂණයේදී අනාවරණය කරගෙන තිබෙනවා.
ඇය වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි තරුණයා සමඟ විවාහ වීමට පෙර වැඩිමහල් පුත්‍රයා ඇයට ලැබී සිටි බවත් රෝගීව සිටින දරුවා සැමියාගේ නිවෙසට ගෙන නොඑන ලෙස ඔහු බැනවැදීමත් දියණියට පහරදීමත් නිසා අවස්ථා හතරකදී දුම්රියට පැන දිවි නසා ගැනීමට ඇය උත්සාහ කර තිබූ බව මරණ පරීක්ෂණයේදී මව පවසා තිබෙනවා.
රෝග පීඩාවෙන් දුක්විඳිනා අසරණ දරුවාට පහර නොදෙන ලෙස ඉල්ලීම් කළ සෑම අවස්ථාවකදීම සැමියා දෙදෙනාටම අමානුෂිකව පහරදී තිබෙන බවත් පසුගිය හය වැනිදාත් ඇය අමානුෂික අන්දමින් පහර කෑමට ලක්වූ බව තමන්ට පැවැසූ බවත් මව පොලිසියට ප්‍රකාශ කර තිබෙනවා.
සිය දියණිය පසුගිය 07 වැනිදා වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයෙන් දරුවන් සමඟ දුම්රියට පැන දිවි නසා ගැනීමට උත්සාහ කර තිබූ අවස්ථාවේ අසල්වාසී තරුණයකු විසින් බේරා ගන්නා ලදුව ඇය මිහින්තලය වේලන්කුලමේ පිහිටි සිය නිවෙසට ගෙනා බවත් සැමියා තැලසීමියාව වැලඳී තිබෙන දරුවාට හා තමන්ට නිරන්තරයෙන් පහරදීම විඳදරා ගැනීමට නොහැකි තත්ත්වයක දැඩි මානසික පීඩාවකට ලක්ව සිටි බව මව පරීක්ෂණයේදී හෙළිව තිබෙනවා.
විවාහවීමට පෙර ඇය ඇඟලුම් කම්හල් සේවිකාවක ලෙස සේවය කළ බවත් පසුව ආපන ශාලාවලට කෑම වර්ග සපයමින් සිටි බවත් සදහන්. දරුවන් දෙදෙනා නිවෙසට ගෙන දියණිය වේයන්ගොඩ සිට අනුරාධපුරයට පැමිණි හිතවත් තරුණයකු බස් නැවතුමට ඇරලවා එදින දහවල් දුම්රියට පැන තිබෙන බව මව වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.
මියගිය තැනැත්තිය අත බස් ප්‍රවේශ පත්‍ර දෙකක් පමණක් තිබූ බවත් දුම්රියට පැන දිවි නසා ගැනීමෙන් අනතුරුව ඇය කාගේ කවුරුන්ද යන්න අනාවරණය කර ගැනීමට විශාල වෙහෙසක් දැරීමට පොලිසියට සිදුවූ බව පොලිසිය පවසනවා.