එක් අයෙකු මිය ගොස් දින 21 ක් ගතවෙද්දී ගමේ තවත් අයෙකු මිය යෑමේ ස්වාභාවික සිදුවීමක් නිසා දැඩි භීතියට පත්ව සිටින ගම්මානයක් අනුරාධපුර දිස්ත්රික්කයට අයත් පලුගස්වැව ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටා තිබෙනවා.
ගලෙන්බිදුනුවැව හල්මිල්ලවැව නම් වූ මෙම ගම්මානයේ වසරක පමණ කාලයක සිට මෙම අස්වාභාවික මියයෑම සිදුවෙන බවට තොරතුරු වාර්තා වන්නේ.
ප්රදේශවාසීන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ඔවුන් කියා සිටියේ ගතවූ මාස කීපයෙ පමණක් හල්මිල්ලෑව ගම්මානයේ එක අයකු මියගොස් දින 21ක් ගතවෙද්දී තවත් අයෙකු මියයනවා. මේ ආකාරයට මේ වන විට පහළොස් දෙනෙක් මියගොස් ඇති බව ගම්මුන් පවසනවා.
ගම්මුන් කියා සිටියේ තම මරණාධාර සමිතියෙ පවා මුදල් නොමැතිව මේ දිනවල කාගෙන් හෝ එකතුකරගෙන මියයන අය භූමදාන කටයුතු සිදුකරන බවයි. එමෙන්ම ගම්මුන් දැඩි බියකින් පසුවන බවත් ඔවුහු පවසනවා.
මේ අතර සිදුවීමට අමතරව මෙම ගම්මුන් වසර ගණනාවකින් මෙම ගම්මානයට දිය පොදක් නොමැති වීම නිසා දැඩි අර්බුදයකටද මුහුණ පා සිටිනවා.
කෙසේවෙතත් ගම්මුන් ගෙන් කොටසක් කියා සිටින්නේ තම ගම්මානයේ පාරම්පරිකව පවත්වාගෙන එන ගම්භාර දෙවියන්ට පුද සත්කාර නොකිරීම නිසා දේව ශාපයක් ගමට උදාවී ඇති බවයි.
තවත් සමහරුන් කියා සිටියේ පවතින දැඩි නියං තත්ත්වය හේතුවෙන් තම ගම්මානයේ පිරිස මේ ආකාරයෙන් මිය යන්නට ඇති බවයි.
ගලෙන්බිදුනුවැව හල්මිල්ලාව ගම්මානයේ සොහොන පෙන්වමින් අයෙකු කියා සිටියේ මෑතකදී මියගිය පහළොස් දෙනා එක පෝලිමට වල දැමූ බවයි.
මේ වන විට අවසන් කෙනා මිය ගොස් දින 5ක් ගත වී සිටින නිසා ඊළඟ දින 21 ගතවෙද්දී සියලු දෙනාම දැඩි භීතියකින් පසු වන බව ඔවුහු පවසති.
ගම්මානේ පන්සලේ විහාරාධිපති මීගොඩ සංත සිරි හිමි කියා සිටියේ අස්වාභාවික මිය යෑම නිසා ගම්මානයේ ජනතාව මෙන්ම තමන් වහන්සේ ද දැඩි සංවේගයට පත්ව සිටින බවත් තමන් වහන්සේ පිරිත් සජ්ජායනා සිදුකිරීමට සහ දේව කන්නලව්වක් ගම තුළ ක්රියාත්මක කිරීමට සූදානමක් පවතින බව යි.
එහෙත් ගම්මානයේ ජනතාවට මේ වන විට කිසිදු ආදායමක් නොමැති වීම නිසා බරපතල ප්රශ්නයකට මුහුණ පා සිටින බවද සඳහන්.