කොට්ටාව ප්‍රදේශයේ පදිංචිව සිටි 55 හැවිරිදි ශ්‍රියානි කොඩිකාර නැමති කාන්තාවක් පසුගිය 10 වන දා අලුයම නිරූපිකාවක් බව පැවසෙන ඇගේ දියණියගේ පෙම්වතා විසින් ඝාතනයට කර ඇති බව වාර්තා වනවා.
ද්‍රවිඩ ජාතිකයෙකු වන ඔහු මනෝ විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරයකු වන අතර විවාහක බව පැවසෙන නිරූපිකාව සමඟ සමීප සම්බන්ධයක් පවත්වාගෙන ගොස් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.
ඔහු විසින් මෙම පූගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි නිරූපිකාව හා ඇගේ මව මීට මාස එකහමාරකට පමණ ඉහත දී රු. 37,000 ක මාසික කුලී පදනම මත මාස හයක කාල සීමාවකට ලබාගත් කොට්ටාව සිරිමල්වත්ත සුහද මාවතේ නිවසක උඩුමහලක පදිංචි කර තිබෙනවා.
පසුගිය 10 වැනිදා අළුයම 3.30 - 4.30 අතර කාලයේදී එම නිවස දෙසින් ‘‘අනේ මගේ දුවට හිරිහැර කරන්න එපා අපිව බේරාගන්න කවුරුත් නැද්දෝ.. “ යනුවෙන් විලාපයක් ඇසුණු බවත් එසැනින්ම ලේ ගලන තුවාල සහිතව පැමිණි නිරූපිකාව අසල්වාසී නිවෙස්වල සීනු නාද කර උදව් ඉල්ලා සිටි බව අසල්වැසියන් පවසනවා.
කෙසේ වෙතත් අසල්වාසීන් එම ස්ථානයට පැමිණෙන විටත් ඇගේ පෙම්වතා එම ස්ථානයෙන් පලා ගොස් අතුරුදන්ව ඇති අතර එක්රැස් වූ පිරිස 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට හා 1190 සුවසැරිය ගිලන්රථ සේවයට දැන්වීමට කටයුතු කර තිබුණ ද ඔවුන් පැමිණෙන විට තියුණු ආයුධයකින් පහර කෑමට ලක්ව සිටි නිරූපිකාවගේ මව අසාධ්‍යව නිවසේ පියගැටපෙළ මත වැටී මියගොස් සිටි බවයි වාර්තා වන්නේ.
පසුව සිද්ධිය වූ ස්ථානය පරීක්‍ෂා කිරීමේදී එම ස්ථානයේ තිබී බිඳුන මත්පැන් බෝතලයක කොටස් සමඟ දැවී ගිය දුම්වැටි කිහිපයක කොටස් ද හමුවී ඇති අතර නිරන්තරයෙන් මෙම නිවසට පැමිණෙන බවට අනාවරණය වී ඇති නිරූපිකාවගේ පෙම්වතා එදින මත්පැන් පානය කර ඇති බවත් එයින් පසු ඔහු තම පෙම්වතිය සමග ඇතිකර ගත් ගැටුමක් දුරදිග ගොස් ඇයටත් එය සමථයකට පත් කිරීමට පැමිණි ඇයගේ මවටත් තියුණු ආයුධයකින් පහර දී ඇති බවයි පොලිසිය සැක කරන්නේ.
අනතුරුව නිරූපිකාව හෝමාගම රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබෙනවා.