අපිනම් වාහනය පාර්ක් කරලා පැය කීපයකින් රුපියල් 100ක් විතර දිලා රථගාලෙන් අරන් එනවා. එනමුත් මේ විදියට වාහනයක් වසර 3ක් තිස්සේ රථගාලක තිබුණොත් ? විශ්වාස කරන්න අමාරුයි නේද ? හැබැයි ඒ විදියට අවුරුදු 3ක් වාහනයක් රථ ගාලක තියෙන පුවතක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වෙනවා.
මර්සිඩීස් බෙන්ස් වර්ගයට අයත් මෙම මෝටර් රථය බ්‍රිතාන්‍යයේ බර්මිංග්හැම්හි රථ ගාලක තමයි මේ විදියට තියෙන්නේ. තවමත් වාහනය අරන් යන්න අයිතිකාරයෙක් ඇවිත් නැහැ.
මේ වන විට එම වාහනය රථගාලේ නවතා තැබූ නිසා ගෙවන්නට ඇති කුලිය පවුම් 14000ක් (රුපියල් ලක්ෂ 30කට ආසන්න) පමණ එකතු වෙලා තියෙනවා. පොලීසිය පවසන පරිදි මේ රථයේ පසුපස ඇක්සලයක පවතින දෝෂයක් නිසා මේ වන විට එය රැගෙන යාමේ අපහසුවකුත් පවතිනවලු. ඒ වගේම මේ ආකාරයේ වාහනයක් අතුරුදන් වූ බවට හෝ අපරාධයකට සම්බන්ධ කරගත් බවට සාක්ෂි නොමැති බවයි වැඩිදුරටත් වාර්තාවන්නේ.
වසර 3 ක් බලා සිට අවසානයේ රථ ගාලේ පාලනාධිකාරිය මෝටර් රථය පිටතට ඇද දැමීමට තීරණය කර ඇත. මෝටර් රථයේ ඉදිරිපස වීදුරුව මත තවත් දින 7 කින් මෝටර් රථය පිටතට දමනවා යැයි දැන්වීමක් රඳවා තබන බවත් එම දින 7 අවසානයේ කිසිවෙකුවත් නොපැමිණියහොත් තවත් බලා නොසිට රථය පිටතට ඇද දමන බවත් ඔවුන් කියයි.
කෙසේ නමුත් පවුම් 14000 ක ගාල් කුලී ගෙවා මෙම මෝටර් රථය රැගෙන යෑමට කිසිවෙකු හෝ ඉදිරිපත් නොවනු ඇති බවට ඔවුන් විශ්වාස කරයි.