කාංචනා මෙන්ඩිස් කියන්නේ වර්ෂ ගණනාවක් රංගනයෙන් දකින්න නොලැබුණු රංගන ශිල්පිණියක්. ඒ ඇය විදෙස්ගතව ඉන්න නිසයි. දරුවන් තිදෙනෙකුට ආදරණිය අම්මා වුනු කාංචනා පුංචි විවෙකයකට ලංකාවට ඇවිත්. රංගනය තුල දකින්න නොලැබුනත් ජනප්‍රියත්වයෙන් තවමත් ඉහල තැනක ඉන්න ඇය ගැනයි මේ.
කාංචනා කාලෙකට පස්සේ නේද මව් රටට ආවේ?
ඔව්. පුතාලගේ පාසල් නිවාඩුව එන්නේ ජූලි අගෝස්තු මාසවල. ඒ කාලයේ තමයි අපිට ලංකාවට එන්න ලැබෙන්නේ. අවුරුදු 03කට පස්සේ තමයි මෙදා සැරේ ලංකාවට ආවේ.
මේ නිවාඩුවට ආපු වෙලාවේ ටෙලි නාට්‍යයක චිත්‍රපටයක, රඟපාන්න ආරාධනාවක් ලැබුණේ නැද්ද?
දවස් 35ක් විතර තමයි මම ලංකාවේ ඉන්න බලාපොරොත්තුව. ඒ කාලෙදි රොෂානුයි පුතාලයි එක්ක නිදහසේ ගත කරන්න ඕනේ. ලංකාවේ ලස්සන තැන් නරඹන්න යන්න ඕනේ. ඒ අතරතුරේ ප්‍රසංග වගේ දේකට ආරාධනා ලැබුණොත් නම් බාරගන්නවා. රඟපාන්න නම් මට කාලයක් හොයාගන්න බැරි වේවි.
එංගලන්තයේ ලන්ඩන් නුවර නිවසේ ගෙවී යන ජීවිතය මොන වගේද?
ටිකක් විතර කාර්ය බහුලයි. රොෂාන් උදෙන්ම වැඩට යනවා. ලොකු පුතයි දුවයි ඉස්කොලෙ යනවා. මමයි පුංචි පුතයි තමයි ගෙදර ඉතුරු වෙන්නේ. ගේ දොර කටයුතු ළමයින්ගෙයි සැමියගෙයි කටයුතු කරද්දී කාලය ගත වෙනවා තේරෙන්නේ නැහැ. ඒත් ලංකාවට වඩා පහසුකම් එහෙ තියෙන හින්දා. වැඩ ටික තනියම කරන එක ටිකක් පහසුයි.
සාමාන්‍ය ගෘහණියක් විදියට කටයුතු කරගෙන යද්දී ඒ රටේ හා මේ රටේ වෙනස ඔබට කොහොමද දැනෙන්නේ ?
පාරේ ගියත් පොදු ස්ථානයකට ගියත් ඒ රටේ නීතිගරුක බවක් තියෙනවා. මාර්ග නීති අකුරටම ක්‍රියාත්මක වෙනවා. ඒ වගේම එහේ මිනිස්සු අනුන්ගේ දේවල් හොයන්නේ නැහැ. තම තමන්ගේ වැඩ කටයුතුවල තමයි ඒ අය නියැළිලා ඉන්නේ. ඒ හින්දා නිදහසත් සාමකාමී බවත් තියෙනවා. ලංකාවේ තත්ත්වය ඊට ගොඩාක් වෙනස්. හැබැයි ඉතින් මෙහේ ඉන්න කොට අපි තනිවෙලා නැහැනේ. අපේම අය ගොඩාක් ඉන්නවානේ. එංගලන්තයේදී ඒ විදියට ගොඩාක් දෙනෙක් අපි වටේ නැහැ. ඒ නිසා තරමක හුදකලා බවක් දැනෙනවා.
එංගලන්තයේ පදිංචි අපේ කලාකරුවෝ එහෙමත් කාංචනාට මුණ ගැහෙනවාද?
සසන්ති ජයසේකර, පුණ්‍යා ආන්ටි, (පුණ්‍යා හින්දෙනිය) අනෝම ආන්ටි (අනෝමා වත්තලදෙනිය) මුණ ගැහෙනවා. එහෙ පැවැත්වෙන යම් යම් කලා කටයුතු, ප්‍රසංග වගේ අංගවල මම ඒවාටත් සම්බන්ධ වෙනවා. නමුත් අර මුලින් කී ගොඩාක් දෙනා ඉන්නේ අපිට ටිකක් දුරින්. ඒ හින්දා ගෙවල්වලට යන්න එහෙම ලැබෙන්නේ නැහැ.
දරුවෝ තුන්දෙනාගෙයි රොෂාන්ගෙයි අලුත් තොරතුරු මොනවාද?
රොෂාන් සුපුරුදු විදියටම රැකියාව කරගෙන යනවා. එයා වැඩ කරන්නේ ඇමෙරිකානු කොම්පැණියක. ලොකු පුතා ටෙනිත රයන්ට දැන් අවුරුදු අටයි. එයා ඉගෙනගන්න දක්ෂයි. දුව කේශා රයිලිට වයස 5යි. එයාට හොඳට නටන්න පුළුවන්. කවදා හරි කලාව පැත්තට යයි කියලත් හිතෙනවා. බාල පුතා නිමාන රොවෙන්ට වයස අවුරුදු එක හමාරයි. එයා වෙනුවෙන් තමයි දවසේ වැඩි වේලාවක් මට ගෙවන්න වෙන්නේ.
කලාවෙන් ඈත් වෙලා ගිය හින්දා දැන් ටෙලි නාට්‍යය ගැන චිත්‍රපට ගැන උනන්දුව අඩු වෙලාද අඩුම තරමින් ඒවා නරඹන්නටත් දැන් කාලයක් නැද්ද?
කලාව ගැන තිබුණු ආශාව උනන්දුව, නම් අඩු වෙලා නැහැ. දැනටත් ලැබෙන විවේකය අනුව ටී.වී. බැලුවත් වැඩි කාලයක් වෙන් කරන්නේ ලංකාවේ වැඩසටහන් නරඹන්න තමයි.
ලංකාවේ යාළු මිත්රයොත් මේ ගමනේදී හමුවනවාද?
මේ දවසේ 35 නිවාඩුව අතරේ ඒ අය බලන්න යන්නත් හිතාගෙන ඉන්නවා.