කලාකෙත රංගනයෙන් අස්වද්දන ප්‍රතිභා පුර්ණ රංගන ශිල්පියෙක් හැටියට මහේන්ද්‍ර පෙරේරාව හැදින්වුවාට වරදක් නැහැ. එතරම්ම ඔහුගේ රංගන හැකියාව පුංචි තිරයෙන් වගේම සිනමාවෙන් දකින්න ලැබෙනවා. මේ ඔහු ගැන තොරතුරුයි
කරදඬු උස් මහත් වෙච්ච පුත්තු ඉන්න තාත්තා කෙනෙක් විදිහට ඔබේ ජීවිතයේ සතුටුදායක මොහොතක් පසුගිය දවසක උදා වුණා නේද?
අනේ ඔව්. ෂූටිං අතරේ වුණත් පසුගිය දවස්වල මට පවුලේ වැඩ කටයුතු වෙනුවෙන් වැඩිපුර ටිකක් වෙහෙස වෙන්න සිද්ධ වුණා. පසුගිය 08 වැනිදා මගේ දෙවැනි පුතා විවාහ වුණා. පුතා පදිංචි වෙලා ඉන්නේ ඕස්ට්‍රේලියාවේ. විවාහය නිසාම පුතා ආවා. මංගල්‍යයේ වැඩ කටයුතුවලින් පස්සේ දැන් මම ආයෙමත් සුපුරුදු පරිදි කලා කටයුතුවලට යොමු වෙලයි ඉන්නේ.
මහේන්ද්‍ර පෙරේරා කියන්නේ අති දක්ෂ නළුවෙක් බව ඕනෑම කෙනෙක් පිළිගන්නා කාරණයක්. නමුත් පසුගිය කාලයේ ඔබ රංගනයෙන් දායක වූ ඇතැම් චිත්‍රපට නිසා ඔබේ එම ප්‍රතිරූපයට හානිවන විදිහේ විවේචන පවා එල්ල වුණා. බැණුම් අහන්න වෙන විදිහේ චිත්‍රපටවල ආයෙත් නම් රඟපාන්නේ නෑ කියලද ඔබ දැන් හිතාගෙන ඉන්නේ?
එහෙම දෙයක් නෑ. විවේචන කියන දේ ඕනෑම නළුවෙකුට එල්ල වෙනවා. ඒ විවේචන සාධාරණ නම් ඒවායින් පාඩමක් ඉගෙන ගෙන මගේ වැරදි අඩුපාඩු හදාගන්න උත්සාහ කරනවා මිස මම ඒවායින් සැලෙන්නේ නැහැ. හැබැයි ඔය අතරේ මට පහර ගහන්න හිතාගෙනම එල්ල කරන විවේචනත් තිබෙන බව මම හොඳින් වටහාගෙනයි ඉන්නේ.
ඔය විදිහේ විවේචනවලට මුහුණදෙන්න ඔබට සිද්ධ වුණේ? චරිත තෝරා බේරා නොගෙන ලැබෙන හැම ආරාධනාවක්ම බෑ නොකියා බාරගැනීම නිසයි කියලා කවුරුන් හෝ කිව්වොත් මොකක්ද ඔබට ඒකට දෙන්න තිබෙන පිළිතුර?
රඟපානකොට තමන්ට ලැබෙන චරිත තෝරා බේරා ගෙන තමයි බාරගන්න ඕනෑ. හැබැයි ඒ තෝරා ගැනීම අන්තවාදී විදිහට කරන්න මට බැහැ. මොකද මමත් ජීවත් වෙන්න ඕනනේ. නළුවෙක් විදිහට රඟපාලා හරි හම්බ කරගන්න මුදලින් තමයි මම මගේ දරු පවුල නඩත්තු කරන්නේ. ඒ නිසා ඔය කියන තෝරාගැනීමට නම්යශීලීිව තමයි මම කරන්නේ. හැබැයි යම්කිසි කලානිර්මාණයක රඟපෑම සුදුසු නෑ කියලා. හිතුණොත් මම කවදාවත් ඒක බාරගන්නේ නැහැ.
කාලයක් තිස්සේ දේශීය සිනමාවේ තිබෙන අර්බුද ගැන තමයි වැඩිපුර අහන්නට ලැබෙන්නේ, මේ කියන අර්බුද මැද්දේ චිත්‍රපට බෙදාහැරීම නැවත චිත්‍රපට සංස්ථාවට පවරාගැනීමට ගත් තීරණය ගැනත් තවමත් තිබෙන්නේ කඹ ඇදිල්ලක්. සිනමා නළුවෙක් විදිහට ඔබ ඉන්නේ මොන පැත්තේද?
මම හිතන්නේ චිත්‍රපට බෙදාහැරීම නැවත චිත්‍රපට සංස්ථාවට පවරා ගැනීම ඉතාම හොඳ තීරණයක් හොඳ චිත්‍රපට හැදුනාම ඒවා පෙන්වා ගන්න බැරිකම අද අපේ සිනමාවට ලොකුම ගැටලුවක් වෙලා තියෙන්නේ. අනික අද තියෙන ක්‍රමවේදයේ හැටියට වැඩි ලාභයක් ලැබෙන්නේ නිෂ්පාදකවරයාට නොවෙයි. සිනමාව කියන්නේ Entertainment Business එකක්. ඒකෙදි මුදල් ආයෝජනය කරන කෙනාට ලාභයක් ලැබිය යුතුයි. එහෙම නොවුණාම චිත්‍රපටයක් රූගත කරනවා කියන සුන්දර අත්දැකීමත් කට්ටක් බවට පත්වෙන එක තමයි වෙන්නේ.