මේ දිනවල රුසියාවේ පැවැත්වෙන ජගත් පාපන්දු කුසලාන තරගාවලිය සඳහා පැමිණෙන විදේශික පුරුෂයන් සමඟ ලිංගිකව හැසිරීමෙන් වලකින මෙන් එරට මන්ත්‍රීවරියක් රුසියානු කාන්තාවන්ගෙන් කළ ඉල්ලීමක් මේවනවිට දැඩි විවේචනයට ලක් වී තිබෙනවා.
මෙම ඉල්ලීමක කර ඇත්තේ රුසියානු කොමියුනිස්ට් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් වන තමාරා ප්ලෙත්නියෝවා (Tamara Pletnyova).
ඇය පවසා ඇත්තේ "ජාතිකවාදියෙක් නොවන" නමුත් රුසියානු කාන්තාවන් විදේශික පුරුෂයන් සමග ලිංගිකව එක්වීමෙන් "ඔවුන්ට ලැබෙන දරුවන් දුක් විඳිනු ඇතැයි" තමන් විශ්වාස කරන බවයි.
ඇය ඒ අදහස් පළ කළේ 1980 දී රුසියාවේ පැවැත්වූ ඔලිම්පික් උළෙලින් පසු රට තුළ මිශ්‍ර ජාතික දරුවන්ගේ උපත් වැඩි වූ බවට පවතින මතය පිළිබඳ විමසූ අවස්ථාවේදීය.
එසේ රට තුළ බිහි වූ මිශ්‍ර ජාතික දරුවන් ඔවුන්ගේ විදේශික පියවරුන් විසින් "අත්හැර දමා" ඇතැයිද මන්ත්‍රීවරිය කියා සිටිනවා.
තවද ඇය පවසන්නේ "දරුවෙකුගේ මව සහ පියා එකම ජාතියක වුණා නම් තත්වය මේ තරම් නරක වෙන්නේ නැහැ. නමුත් පියා වෙනස් ජාතියක නම්, කතාව එතනින් ඉවර වෙනවා.දරුවන් අතහැර දමා ගිය පසු ඔවුන් සිය මව සමඟ මෙහි ජීවත් වෙනවා. අපි බිහිකරන්න ඕනෙ අපේ දරුවන්."
තමාරා ප්ලෙත්නියෝවාගේ මෙම ප්‍රකාශය අන්තර්ජාලය ඔස්සේ බොහෝ දෙනෙකු විවේචනයටද ලක් වුණා. මෙවර ෆිෆා පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ එක් ව්‍යාපෘතියක් වන ජාතිවාදය තුරන් කිරීම සහ තමාරා ප්ලෙත්නියෝවාගේ අදහස් අතර ඇති පරස්පර විරෝධී බව ඇතැමුන් හුවා දක්වා තිබුණා.
ඇයගේ මෙම ප්‍රකාශයට එරෙහිව ඇතමුන් විවේචනය කර තිබුනේ "ඇය රුසියානු පාර්ලිමේන්තුවෙන් නෙරපා දැමිය යුතුයි," බවයි.
"මේ මන්ත්‍රීවරිය ප්‍රජනනය සිදු කළ හැකි වයස් මට්ටමේ පසුවන රුසියානු කාන්තාවන්ගේ හැසිරීම් නිරීක්ෂණය කරන්න සැරසෙනවාද?" යනුවෙන් අයෙකු ට්විටර් පණිවුඩයකින් විමසා තිබුණි.
මෙහි තිබෙන හාස්‍ය උත්පාදක කරුණ වන්නේ තමාරා ප්ලෙත්නියෝවා මින් පෙර "ජාතිකත්ව පිළිබඳ කමිටුවේ සභාපතිනිය වී සිටීමයි" යනුවෙන් තවත් ට්විටර් පණිවිඩයක සඳහන් විය.