"කියන්න බැරිතරම් ලස්සනක් එයාට තිබුණා..."
"වැඩ ඇරිලා එන දූ වෑන් රථයේ දාගෙන ගිහින්.."
"දූගේ ඔළුවට යකඩ පොල්ලෙන් ගහලා මරලා.."
උපතින්ම රූමත් සුරංගි ඇඟලුම් කර්මාන්ත ශාලාවක රැකියාවක් තෝරා ගත්තේ දුප්පත්කම හේතුවෙන්. ඇය සොයුරු සොයුරියන් 6 දෙනෙකුගෙන් යුත් පවුලක 4 වැනියායි.
සුරංගිගේ පියා වෘත්තියෙන් කුරුඳු කාර්මිකයෙක් වූ අතර මව රැකියාවක් කළේ නැත.
තම දියණියට වූ විපත ගැන සුරංගිගේ මව පවසන්නේ මෙවැනි දෙයකි.
"මගේ දියණියන් පස් දෙනාගෙන්ම ලස්සනම මගේ මද්දුමියි. කියන්න බැරිතරම් ලස්සනක් එයාට තිබුණා. වැඩ කරන තැනට ළමයි අදින වෑන් රථයේ අයිතිකරු මගේ දූ සමඟ සම්බන්ධතාවක් ඇතිකරගෙන තිබුණා. පස්සේ සොයා බැලුවාම මේ හාදයා බැඳපු කෙනෙක්. දූ මේක දැනගත්තාම ඔහුත් සමඟ තිබූ සම්බන්ධය නතර කරන්න උත්සාහ කළා. නමුත් ඊට කැමති වුණේම නැහැ. දූට කරදර කර කර පස්සෙන්ම එන්න ගත්තා. දූගෙයි මේ හාදයාගෙයි සම්බන්ධයක් තිබුණු බව දැන ගත්තාම ඔහුගේ භාර්යාවත් ඔහු දාලා ගියා."
"...එදාත් ඔහු වෑන් රථයෙන් ඇවිල්ලා වැඩ ඇරිලා එන දූ ඔහුගේ වෑන් රථයේ දාගෙන ගිහිල්ලා තියෙනවා. එදා වැඩ ඇරිලා එන වෙලාවට දූ නාවම අපි කලබල වුණා. මට මතක් වුණා දූ මගෙන් අම්මේ මං ලස්සන ද කියලා අමුතු විදිහට අහපු හැටි."
"මම දුව ගැන හොයලා බැලුවා. වැඩ කරපු තැනට ගිහින් බැලුවම කිව්වා අද කට්ටියම රෑ වැඩ කරනවා කියලා. ඒ නිසා මම ගෙදර ආවා... පස්සෙ මගේ තව දුවෙක් කතා කරලා කිව්වා අන්න නංගි මැරිලා බලපිටිය රෝහලේ කියලා. ඒ වෙලාවේ මට වුණු දේ මට කියාගන්න බැහැ. අනේ මහත්තයෝ අර හාදයා මගේ දූත් එක්ක වෑන් එක ඇතුළේ රණ්ඩුවෙලා. ඒ හාදයා දූගේ ඔළුවට යකඩ පොල්ලෙන් ගහලා මරලා, රිය අනතුරක් වුණා කියලා බලපිටිය ඉස්පිරිතාලෙට බාරදීලා පැනලා ගිහිල්ලා. මේ වගේ නරුමයින්ට නම් හොඳක් වෙන්න එපා."
අනතුරකට ලක්වූ තරුණියක් බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති පුවතක් වාර්තා වුණේ ඉකුත් 13 වැනිදායි.
වෑන් රථයකින් පැමිණි තරුණයෙක් තරුණිය රෝහලට ඇතුලත් කර තිබූ අතර රෝහලේ ආරක්ෂක නිලධාරින් විසින් අදාළ වෑන් රථයේ අංකය සටහන් කරගෙන තිබීම හේතුවෙන් ඒ ඔස්සේ සිදුකළ පරීක්ෂණ අනුව තරුණිය රෝහලට ඇතුළත් කර ඇති සැකකරු පොලිසියට භාර වී තිබුණා.
24 හැවිරිදි සුරංගි ලක්මාලි වන මෙම තරුණිය සහ සැකකරු අතර කලක පටන් ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති අතර එම තරුණයා විවාහකයෙකු බව දැනගැනීමෙන් පසු තරුණිය එම සබඳතාව නතර කිරීම හේතුවෙන් ඇතිවූ ආරවුලක් මත තරුණියගේ ඝාතනය සිදුවන්නට ඇති බවට සැක කෙරෙනවා.