"මගේ ගම් පළාත කුරුණෑගල. අපේ ගෙවල් තිබුණේ ටවුන් එකේමයි. මම ප්‍රසිද්ධ පාසල් දෙකක ඉගෙන ගත්තා. ඒත් මම සාමාන්‍ය පෙළ විභාගයටවත් පෙනීහිටියේ නෑ. ආදර සම්බන්ධයක් නිසා ඉස්‌කෝලේ ගමන නතර කරන්න වුණා. මම ඉස්‌කෝලේ ගියේ නැත්තේ ඒ ගෑනු ළමයාගේ මුහුණ බලන්න බැරි නිසා. ඒත් ඒ ළමයා හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලයට තේරිලා අද වෛද්‍යවරියක්. ආදරය නිසා ඉගෙනීම කැප කළ මම නන්නත්තාර වුණා..."
"ඉස්‌කෝලේ යන්නේ නැතිව ගෙදර නතර වුණාට පස්‌සේ වැඩිපුර කාලය ගත කළේ ටවුන් එකේ. මම ඇසුරු කරපු හැම යාළුවෙක්‌ම මට වඩා වැඩිමහල්. ඒ අය බීලා දික් කරන සිගරට් කොට බිව්වා. ටික දවසක් යනකොට හවසට පොඩි අඩියක් ගහන්න සෙට් වුණා. එහෙම සෙට් වෙච්ච වෙලාවට සිගරට්, ගංජා දෙකම හොඳ හැටි බිව්වා. එතකොට තාත්තා හිටියේ ජපානේ නිසා මම යන, එන තැන් හොයන්න කෙනෙක් හිටියෙත් නෑ. අපේ පවුලට කිසිම අගහිඟකමක් තිබුණෙත් නෑ. වෑන් එකක්, බයිසිකලයක් එහෙමත් තිබුණා. ඒ හැම වාහනයක්‌ම පැද්දේ මමයි. අයියා පාඩුවේ ගෙදරට වෙලා ඉඳලා නියම වයස වෙනකොට ඉතාලියට ගියා. දැන් කසාඳ බැඳලා ෆාමසියකුත් තියෙනවා. අයියා තවම ඉතාලියේ. නංගි ඉගෙනගෙන ඉවර වෙලා සැලෝන් එකක් දාගෙන පාඩුවේ ජීවත් වෙනවා. මගේ රාජකාරිය වුණේ වෑන් එකත් අරගෙන ටවුමේ කොල්ලො එක්‌ක සවාරි යැම..."
"පළාතේම සංගීත සංදර්ශන බලන්න ගියා. මළගෙවල්, බණ ගෙවල් හොයාගෙන ගියා. අපිට ඕනෑ වුණේ ඒ තැන්වලට ගිහින් කාලා බීලා ආතල් ගන්න. නිදිවරාගෙන ගංජා බිව්වා. පෙති බිව්වා. සමහර දවස්‌වලට ගංජා, පෙති, පැණි තුනම බිව්වා. ගෙදර ආවේ එළිවෙලා. එතකොටත් වෙරි. ඒ විදිහට අවුරුදු දෙකක් විතර මත්ද්‍රව්‍ය පාවිච්චි කරගෙන කල් මරනකොට දවසක් අපේ පන්තියේ යාළුවෙක් සෙට් වුණා. මිනිහා එතකොට පොලිස් නිලධාරියෙක්. රාජකාරි කළේ මත්ද්‍රව්‍ය නාශක අංශයේ. ඊට පස්‌සේ දවසක යාළුවා නිවාඩුවට ගෙදර යනකොට ටවුන් එකෙන් බැහැලා බියර් එකක් බොන්න යන්න මට කතා කළා. කියන සුනංගුවට මමත් කැමැති වුණා. ටවුන් එකේ අපි නිතර සෙට් වෙන රෙස්‌ටුරන්ට් එකට ගිහින් දෙන්න එක්‌ක බියර් දෙකක් බිව්වා. දෙන්නටම මදි. තව දෙකක් ගෙන්න ගත්තා. ඒ දෙකේ බාගයක් විතර ඉවර වෙනකොට යාළුවා පර්ස් එක අවුස්‌සලා පැකට් එකක් අරගෙන 'පොඩි බඩුවක් තියෙනවා පාවිච්චි කරලා බලන්න' කියලා මගේ අතට දුන්නා. එදා තමයි කුඩු කියන මත්ද්‍රව්‍ය මම දෑහින් දැක්‌කේ. පැකට් එක දීලා යාළුවා යන්න ගියා..."
"එතකොට මම කුඩු බොනව දැකලවත් නෑ. දවස් දෙකක් විතර පැකට් එක පර්ස් එකේ තිබුණා. මා ළඟ කුඩු පැකට් එකක් තියෙන විත්තිය තව යාළුවො දෙන්නෙකුටත් කිව්වා. අද්දැකීමක් ගන්නත් එක්‌ක ඒ දෙන්නත් කුඩු චුට්‌ටක් බොන්න කැමැති වුණා. ඒත් අපි බොන්න දන්නේ නෑ. පස්‌සේ අපි කෝච්චියේ වෙළෙඳාම් කරන මනුස්‌සයෙක් සෙට් කරගෙන එයාට කියලා ඔතාගෙන හතර දෙනෙත් එක්‌කම බිව්වා. මිනිහා නියම කුඩ්ඩා. එතකොටත් මිනිහා කුඩු නිසා හොඳටම දිරාපත්වෙලා හිටියේ. ඒත් කුඩු බොන්න හොඳ නෑ කියලා වැඩිහිටියෙක් විදිහට අපිට දැනමුතුකමක් දුන්නේ නෑ..."
"කුඩු බිව්ව පළමු දවසේම මගේ ඇඟට අමුතුම ෆීලින් එකක් දැනුණා. අනිත් යාළුවො දෙන්නටත් ඒ ෆීලින් එකම දැනිලා තිබුණා. දෙවැනි දවසෙත් කුඩු ටිකක් බොන්න හිතුණා. කෝච්චියේ යාළුවට කතා කරලා කිව්වම එයා අපිට කුඩු පැකට් එකක් ගෙනත් දුන්නා. ඒ කුඩු පැකට් එකත් අපි හතරදෙනා එක්‌කම බිව්වා. එදත් හොඳ ෆීලින් එකක් ඇඟට දැනුණා. ඊට පස්‌සේ අපි තුන්දෙනා සල්ලි එකතු කරලා දවස් තුන, හතරකට ඇති වෙන්න කුඩු ගේන්න කෝච්චියේ යාළුවට සල්ලි දුන්නා. දවස ගානේම කුඩු බිව්වා. සතියක්, දෙකක් යනකොට අපි තුන්දෙනාටම කුඩු නැතිව බැරි වුණා. හැමදාම උදේට කෝච්චියේ යාළුවට සල්ලි එකතු කරලා දීලා හවස එයා එනකම් පාර බලාගෙන හිටියා. සමහර දවස්‌වලට පොලිසියේ වැඩ කරපු මගේ යාළුවටත් කියලා පැකට් ටිකක් ගෙන්න ගත්තා. නිවාඩු එන්න පරක්‌කු වුණොත් එයා වැඩ කරන පොලිසියට ගිහින් මම බඩු අරගෙන ආවා. එහෙම ගිහාම සතියකට දෙකකට ඇති වෙන්න බඩු ගේනවා. ඒත් අපි ඒ සේරම දවසක්, දෙකක් යනකොට ඉවර කරනවා. ඒ වෙනකොට අපි නියම කුඩ්ඩො..."
"එතකොට මට වයස අවුරුදු දහනවයක් ඇති. ජොබ් එකක් කළෙත් නෑ. මුළු දවසේම කුඩු බිබී චාටර් වුණා. එහෙම ඉන්නකොට අපිත් එක්‌ක හිටපු තවත් යාළුවෙක් පොලිසියට ගියා. එයා රාජකාරි කළේ රථ වාහන අංශයේ. නිවාඩු එනකොට එයත් බඩු අරගෙන ආවා. අපි දෙන්න එක්‌ක සෙට් වෙලා කුඩු පැකට් දෙක තුන බිව්වා. ඒ යාළුවා හොඳටම කුඩු බොනවා. එයාටත් කුඩු නැතිවම බෑ. අන්තිමේ ඒ යාළුවා කුඩු බොන්න සල්ලි නැති වුණහම උසාවිවල නඩු භාණ්‌ඩ විදිහට තියෙන වාහනවල කෑලි ගලවලා විකුණලා මාට්‌ටු වෙලා ජොබ් එකත් නැති වුණා. එයා කුඩු නිසා නැත්තටම නැති වුණා. ඒත් පොලිසියේ රාජකාරි කරපු අනිත් යාළුවා කුඩු ගෙනත් අපිව දම්මලා විකුණලා සල්ලිත් හම්බ කළා. මිනිහා කුඩු බිව්වේ නෑ. එයා අදටත් පොලිසියේ රාජකාරි කරනවා. මුලදි අපිට කුඩු දීලා එයා අපිව කුඩුවලට ඇබ්බැහි කළේ බිස්‌නස් එක කරගන්න කියලා අපිට තේරුණේ පස්‌සේ. එතකොට අපි කුඩු ගොඩට වැටිලා ඉවරයි..."
දවසකට කුඩු බොන්න රුපියල් පන්හය දහසක් ඕන වුණා. මම ජොබ් එකක් කළෙත් නෑ. අම්මට බොරු කියලා සල්ලි කීය, කීය හරි ඉල්ලගත්තා. අයියගේ ෆාමසියට ගිහින් මිල වැඩි පිටි ටින් හොරකම් කරගෙන ගිහින් විකුණ ගත්තා. ජපානෙන් තාත්තා එවපු බඩු ගොඩක් ගෙදර තිබුණා. ඒ සේරම මම විකුණලා කුඩු බිව්වා. බඩු අඩු වුණා කියලා අම්මට ලොකු දැනීමක් තිබුණේ නෑ. ඔහොම ඉන්නකොට තාත්තා ලංකාවට ආවා. ඒ ඇවිත් තාත්තා නැවත ජාපනයට ගියේ නෑ. එතකොට තාත්තා ජාපනයට ගිහිල්ලා අවුරුදු විසිදෙකකට වැඩියි. තාත්තා ලංකාවට ඇවිත් ටවුන් එකේ මට රෙදි කඩයක් දාලා දුන්නා. අපේ කඩේ තිබුණේ බස් ස්‌ටෑන්ඩ් එකේමයි. හරි ලස්‌සනට, පිළිවෙළට කඩේ කරගෙන ගියා. එහෙම යනකොට නිතර දකින ගෑනු ළමයෙක්‌ට මගේ හිතේ ආදරයක් ඇති වුණා. ආදර සම්බන්ධය පටන් අරගෙන මාස හයක් විතර යනකොට අපි දෙන්න ආදරයේ අනන්තයටම ගියා. ඊට පස්‌සේ ඒ ළමයා කසාද බඳින්න ඕනෑ කියලා මට බල කළා. අන්තිමේ කරන්න දෙයක් නැති තැන කඩේට ආපු ගමන් අපි දෙන්නා පැනලා ගියා. ටික දවසක් යනකොට තමයි මම දැනගත්තේ ඒ ළමයාගේ ගෙදරින් ප්ලෑන් කරලා තමයි එහෙම කරලා තියෙන්නේ කියලා. එයාලා ගොඩක්‌ම දුප්පත්. අපි ළඟ හොඳට සල්ලි තිබුණා. ඒත් මම අතහැරියේ නෑ. මාව ගෙදරින් අතහැරියෙත් නෑ. අපි දෙන්නව අපේ ගෙදරින් භාරගත්තා..."
"අවුරුදු දෙකක් විතර යනකොට අපිට දුවෙකුත් ලැබුණා. සතුටින් ජීවත් වුණා. වයිෆ්ගේ පවුලේ අයවත් නඩත්තු කරන්න වුණේ මට. කුඩු බීම නතර වුණෙත් නෑ. කඩෙන් ලැබෙන ආදායම මත්ද්‍රව්‍යවලට ගිහිල්ලා, පවුල් දෙකේ වියදමට ගියාට පස්‌සේ කඩේට බඩු ගන්න ණය වෙන්න වුණා. අන්තිමේ කඩේ වහන තත්ත්වයට පත් වුණා. මම කුඩු බොනවා කියලා සමාජයේ ප්‍රසිද්ධ වුණා. අතේ සල්ලි නැති වෙනකොට ගෙදර බඩු මුට්‌ටු උස්‌සගෙන ගිහින් විකුණලා කුඩු බිව්වා. තාත්තා මට නොසෑහෙන්න අවවාද කළා. ජීවත් වෙන්න විදිහක් නැතිව චාටර් වෙනකොට තාත්තා මට ත්‍රීවීල් එකක් අරගෙන දුන්නා. ඊට පස්‌සේ මම කුලියට ගෙයක් අරගෙන ගිහින් ත්‍රීවීල් එක හයර් කරගෙන ජීවත් වුණා. ඒත් කුඩු බීම නතර කළේ නෑ. ත්‍රීවීල් එක හයර් කරන්න පටන් ගත්තට පස්‌සේ කුඩු බිස්‌නස් කරන්නත් පටන් ගත්තා. කුඩු ගෙනිච්ෙච් දෙමටගොඩින්. හොඳට බිස්‌නස් කළා. ඒත් ගෙදර වියදමටයි, කුඩු බොන්නයි කොච්චර හම්බ කළත් මදි වුණා. එහෙම යනකොට මගේ ත්‍රීවීල් එක පස්‌සේ පොලිසිය ෆලෝ කරන්න පටන් ගත්තා. හිටි ගමන් පොලිසිය මාව අල්ලගෙන කුඩු දාලා ඇතුළට දැම්මා. ඒ හැම අවස්‌ථාවකම අපේ ගෙදරින් ගිහින් මාව බේරගත්තා..."
"ත්‍රීවීල් ජොබ් එක කරගෙන යන්න බැරිම තැන ත්‍රීවීල් එක විකුණලා දැම්මා. ජීවත් වෙන්න විදිහක් නැති වෙනකොට පොඩි, පොඩි ජොබ් කරන්න පටන් ගත්තා. වයිෆ් ආයුර්වේද සම්භාහන මධ්‍යස්‌ථානයක වැඩට ගියා. මම කොළඹ රස්‌සාවකට ගියා. මම හම්බකරන මුදල් වැඩි හරියක් වියදම් කළේ කුඩු බොන්න. මාස දෙකකට විතර සැරයක් තමයි ගෙදර ගියේ. ඒ ඇවිල්ලත් දවස් දෙකකට වඩා හිටියේ නෑ. කුඩු නැතිව ඉන්න බැරි නිසා මම කොළඹ ආවා. ඒ අතරේ සම්භාහන මධ්‍යස්‌ථානයට සුද්දො අරගෙන එන අවුරුදු පනහක විතර මනුස්‌සයෙක් එක්‌ක වයිෆ් සම්බන්ධයක් ඇති කරගෙන කියලා මට ආරංචි වුණා. 'කටකතා නේ' කියලා මම ඒ කතා හිතේ තද කරගත්තේ නෑ..."
"දවසක් මම ගෙදර එනකොට වයිෆ් කුරුණෑගල ටවුන් එකේදී මුණගැහුණා. මාව දැක්‌ක ගමන් බය වෙලා වගේ ෆොන් එක බෑග් එකේ දාගත්තා. එතකොට මට පොඩි සැකයක් ඇති වුණා. දෙන්නත් එක්‌ක බස් එකට නැඟලා මම වයිෆ්ගේ ෆොන් එක අරගෙන බැලුවා. කවුරුහරි මිනිහෙක් මැසේඡ් කරලා තිබුණා. ගෑනිත් ඒ මැසේඡ්වලට හොඳ හැටි රිප්ලයි කරලා තිබුණා. මිනිස්‌සු කියපු කටකතා ඇත්ත වුණා. නොකර ශබ්ද ගෙදර ඇවිත් එයලාගේ අම්මටයි, තාත්තාටයි එන්න කියලා දෝණිඇන්දාගේ කෙරුවාව හොඳට පැහැදිළි කරලා දුන්නා. ඒ විතරක් නෙමෙයි අම්මත් එක්‌කම දුවවත් පිටත් කළා. එතකොට අපේ දුවට අවුරුදු හතරයි. වයිෆ් ගෙදරින් ගියේ දුවත් අරගෙන. අදටත් දුව ඉන්නේ වයිෆ් ළඟ. ගෙදරින් ගිය දවසේ ඉඳලා වයිෆ් මූණට මුණගැහුණත් බලන්නේ නෑ.
එයා සල්ලිවලට මුළා වෙලා ඉන්නේ. දැන් සම්බන්ධ වෙලා ඉන්න වයසක මනුස්‌සයා හොඳටම සල්ලි වියදම් කරනවා. වයිෆ්ටත් ඕනෑ වෙලා තිබුණේ අධි සුඛෝපභෝගී ජීවිතයක්. එයාගේ විච්චූරණවලට හම්බකරන පඩිය මදි. වයිෆ්ගේ ගෙදර බර දරන්නෙත් වියපත් පෙම්වතා. ඒ නිසා වයිෆ්ගේ ගෙදර අයත් ඒ සම්බන්ධයට කැමැතියි. වයිෆ්ගේ අම්මත් සල්ලිවලට හරිම කෑදරයි. ප්ලෑන් කරලා දුව මගේ ඇඟේ ගැහුවෙත් අපේ තාත්තාගේ සල්ලිවලට රැවටිලා දුවත් අම්මා වගේම වුණා. දැන් එයා සම්පූර්ණයෙන්ම සල්ලි පස්‌සේ දුවන්නේ. සල්ලි හම්බ වෙනවා නම් ඕන දෙයක් අපරාදේ... වැඩි වයසකුත් නෑ. තවම අවුරුදු විසිහතරයි. ඒත් දැන් එයාගෙන් ගන්න දෙයක් නෑ..."
"ඒ ප්‍රශ්නත් එක්‌ක මම තව තවත් වැටුණා. රස්‌සාවක් කරන්න හිත දුන්නෙම නෑ. කුඩු බොන්න සල්ලි නැති වුණහම හොරකම් කළා. ගෙදර අය මාව හොරා කියලා කොන් කළා. ඒ දේවල් දරාගන්න බැරිව මම එල්ලිලා මැරෙන්න ගියා. මගේ වෙලාවට ඒ හැම දේකින්ම බේරුණා. වයිෆ් දැන් දික්‌කසාද නඩු දාලා. දුවටයි, වයිෆ්ටයි දෙන්නටම වන්දි ඉල්ලලා තමයි නඩුව දාලා තියෙන්නේ. වන්දි ගෙවන්න මා ළඟ සල්ලි නෑ. මම නිසා තාත්තත් නැත්තටම නැති වුණා. කල්පනා කරලා, කරලා දවසක් කුඩුවලින් මිදෙන්න තැනක් හොයාදෙන්න කියලා අම්මාගේ කකුල් දෙක අල්ලලා වැන්දා. අම්මා තමයි මේ පන්සල හොයාගෙන මාව එක්‌කරගෙන ආවේ. අපිත් එක්‌ක අයියත් ආවා. අයියා යනකොට කියලා ගියේ 'ඔයා හැදෙන්න...' මම කොහොමහරි ඔයාව ඉතාලියට ගන්නවා කියලා. අදටත් අයියා ඉතාලියේ ඉන්නේ. පන්සලට කතා කරලා මා ගැන හොයා බලනවා. අයියා මාව ඉතාලියට ගනිවී කියලා මට ලොකු විශ්වාසයක් තියෙනවා..."
"මේ පන්සලට එනකොට මම අමු පිස්‌සා. කුඩු සික් එක කියන්නේ රෝගයක්. අපි ඒ ලෙඩේ හදාගන්නේ විහින්. ඒත් ලෙඩේ හැදුණට පස්‌සේ පිස්‌සු. කරන, කියන කිසිම දෙයක බරක් පතලක් තේරෙන්නේ නෑ. මොළේ ඉල්ලන්නේම කුඩු විතරයි. දැන් මගේ මොළේ ටිකෙන්, ටික පිරිසිදු වෙනවා. මෙතැනට ඇවිත් මාස හයකට වැඩියි. හිතටත් සනීපයි. ඇඟත් නිරෝගීයි. දැන් නම් මත්ද්‍රව්‍ය මට වස. ආයෙමත් ජීවිතේට මත්ද්‍රව්‍ය කටේ තියන්නේ නෑ කියලා මට විශ්වාසයි. නැති වෙච්ච දේවල් ගැන පුංචි හෝ දුකක් නෑ. ඒත් ජීවිතේ තව හදාගන්න ගොඩක් දේවල් තියෙනවා. දික්‌කසාද නඩුවට යන්න බැරි වෙච්ච නිසා දැන් මම වරෙන්තුකාරයෙක්. ප්‍රථමයෙන් උසාවියට ඉදිරිපත් වෙලා ඒ ගැටලුව නිරාකරණය කරගන්න ඕනෑ. ඊට පස්‌සේ තමයි අනිත් ප්‍රශ්න ලිහාගන්න ඕනෑ. ඒ වගේම දාඩවතේ යන ගෑනියෙක් ළඟ හැදෙන ගෑනු දරුවකුට රැකවරණයක් නෑ. මම උසාවියට ඉදිරිපත් වෙලා කොහොමහරි මගේ දුව අපේ ගෙදරට ගන්න ඕනා. වයිෆ්ව මට ඕන නෑ. මත්ද්‍රව්‍ය වගේම අම්මා හැර ගෑනු කියන අය දැන් මට අප්පිරියයි. නැවත මට ගෑනු ඕන නෑ. ඉතාලියට ගිහින් කීයක් හරි හම්බ කරගෙන ඇවිත් අම්මා, තාත්තා බලාගෙන දුව හදාගෙන ජීවත් වෙනවා..."
තරංග රත්නවීර