මේ අතර ඊයේ පස්වරුවේ තාවකාලිකව නතර කෙරුණු විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් අද උදෑසන ආරම්භ කෙරුණා. මේ සඳහා හමුදා සාමාජිකයින් 700 කට ආසන්න පිරිසක් එක්ව සිටින අතර බැකෝ යන්ත්‍ර උපයෝගී කරගනිමින් එම මෙහෙයුම් සිදු කෙරෙන බවයි එම ස්ථානයේ සිටින හිරු වාර්තාකරු ප්‍රකාශ කළේ.
මෙහෙයුම්වල නිරත ආරක්ෂක අංශ සාමාජිකයින්ට අද උදෑසන එම ගම්මානයේ පස්වලට යටවූ කිරි මධ්‍යස්ථානය සොයාගැනීමට හැකිවුණා. කෙසේ වෙතත් නායයෑමට හසුවූ පුද්ගලයින්ගෙන් දසදෙනෙකුගේ මළසිරුරු හමුවූ බවට ඊයේ වාර්තාවූවත් ආපදා කළමනාකරන මධ්‍යස්ථානය අද ප්‍රකාශ කළේ මෙතෙක් හමුවී ඇත්තේ මළසිරුරු 3 ක් පමණක් බවයි.
අද දිනයේ විපතට පත්වූවන් බේරාගැනීමේ මෙහෙයුම් සිදු කෙරෙන ආකාරය වාර්තා කිරීම සඳහා දෙස් විදෙස් මාධ්‍ය ආයතන නියෝජනය කරමින් මාධ්‍යවේදීන් විශාල පිරිසක් එම ස්ථානයට පැමිණ තිබෙනවා.
නායයෑමෙන් විපතට පත්ව සිටින ජනතාවගේ සුවදුක් විමසීම සඳහා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මීට සුළු මොහොතකට පෙර කොස්ලන්ද - මීරියබැද්ද ගම්මානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවුණා. නායයෑමට ලක්වූ මීරියබැද්ද ගම්මානය ගුවනින් නිරීක්ෂණය කළ ජනාධිපතිවරයා මුලින්ම පැමිණියේ අවතැන්වූවන් රැඳී සිටින කොස්ලන්ද ශ්‍රී ගනේෂා දෙමළ මහා විද්‍යාලයටයි.
එහිදී ජනාධිපතිවරයා විපතට පත්වූවන්ගේ සුවදුක් විමසනු ලැබුවා. මෙහිදී නායයෑමේ සිදුවීම සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස ජනාධිපතිවරයා බලධාරින්ට දැනුම්දුන් බවයි ජනාධිපතිවරයා සමග නිරීක්ෂණ චාරිකාවට එක්ව සිටි ආපදා කළමනාකරන අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ.
හල්දුම්මුල්ල - කොස්ලන්ද - මීරියබැද්ද ගම්මානයේ සිදුවූ නායයෑමෙන් අවතැන් වූ සහ අවදානම් තත්වය මත නිවාසවලින් ඉවත් කල පුද්ගලයන් 818 දෙනෙකු කඳවුරු දෙකක මේ වනවිට රඳවා සිටිනවා. ඉන් 320 දෙනෙකු ළමයින් බවයි ආපදා කළමනාකරන මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකාරක ඒ.එල්.උදය කුමාර ප්‍රකාශ කළේ. ආපදාවට ලක්වූ පුද්ගලයින් සඳහා සහන ලබාදීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇති බව ඔහු කියා සිටියා.
ජගත් සංවිධානය සඳහන් කළේ මීරියබැද්ද ප්‍රදේශයේ සිදුවූ නායයෑමෙන් විපතට පත්වූවන්ට සහන සැළසීමට සූදානම් බවයි. ඒ සඳහා ජගත් සංවිධානයේ මානුෂීය කටයුතු පිළිබඳ ඒකකය මේ වනවිට අධ්‍යයනයක නිරතවන බව එම සංවිධානයේ මාධ්‍ය ප්‍රකාශක ස්ටීවන් ජූරික් දෛනික මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කළා. එම පුවත උපුටා දක්වන ෂිංහුවා පුවත් සේවය වාර්තා කළේ විපතට පත්වූවන්ට අවශ්‍ය හදිසි සෞඛ්‍යාධාර ලබාදීම සඳහා ජගත් සංවිධානය, සෞඛ්‍ය අමාත්‍යාංශය සමගද අදහස් හුවමාරු කරගෙන ඇති බවයි.