ග්‍රැහැම් ලැබ්බ්‍රෝයිගේ සභාපතිත්වයෙන් යුත් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ නිල කාලය ඊයේ (15 දා) අවසන් වූ අතර ඒ වෙනුවට අලුත් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු යොදමින් සිටියි.
ක්‍රීඩා අමාත්‍යාංශය විසින් අලුත් ක්‍රිකට් තේරීම් කමිටුවක් පත්කර එවන ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉකුත් අප්‍රේල් මස ලිඛිතව දන්වා ඇති අතර ඒ අනුව සාමාජිකයන් කිහිප දෙනකුගේම නම් මේ වන විට යෝජනා වී තිබේ. කෙසේ වෙතත් පත්කරන නව තේරීම් කමිටුව 2019 ලෝක කුසලාන කණ්‌ඩායම නම් කිරීමේ කටයුත්තද සිදුකරනු ලබයි.
යෝජනා වී ඇති නව ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය සඳහා බ්‍රෙන්ඩන් කුරුප්පු සහ දුලිප් මෙන්ඩිස්‌ගේ නම් යෝජනා වී තිබුණද දුලිප් මෙන්ඩිස් මේ වන විට ඕමානයේ පුහුණුකරු ලෙස කටයුතු කරනු ලබයි. දුලිප් මෙන්ඩිස්‌ට තේරීම් කමිටු සභාපති ධුරයට අමතරව ශ්‍රී ලංකා කණ්‌ඩායමේ කළමණාකරු ලෙස පත්කිරීමටද සාකච්ඡා වී ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ. මීට අමතරව රන්ජිත් මධුරසිංහ, ඉන්දික ද සේරම්, එරික් උපශාන්ත සහ චමින්ද මෙන්ඩිස් යන හිටපු ක්‍රිකට් ක්‍රීඩකයන්ගේ නම්ද තේරීම් කමිටු සාමාජිකයන්ට යෝජනා වී තිබේ.
ග්‍රැහැම් ලැබ්බ්‍රෝයිගේ සභාපතිත්වයෙන් ක්‍රියාත්මක වූ තේරීම් කමිටුවේ සෙසු සාමාජිකයන් වශයෙන් ගාමිණී වික්‍රමසිංහ, ජෙරී වවුටර්ස්, සජිත් ප්‍රනාන්දු සහ අසංක ගුරුසිංහ යන මහත්වරු කටයුතු කළේය. මීට අමතරව පුහුණුකරු චන්දික හතුරුසිංහටද කණ්‌ඩායම නම් කිරීමෙන් පසුව අවසන් 11 දෙනා තේරීම සඳහා බලය පැවරී තිබේ.