යුරෝපා සංගමයට අයත් රටවල වෙසෙන වයස අවුරුදු දාසයට අඩු දරුවන් සිය පණිවුඩ හුවමාරු ජාලය භාවිත කිරීම තහනම් කිරීමට WhatsApp ජාලය කටයුතු කරමින් සිටින බව මාධ්‍ය වාර්තා කරනවා.
මේ හේතුව මත වයස අවුරුදු දහතුනට අඩු දරුවන්ට දැනටමත් WhatsApp පණිවුඩ හුවමාරු ජාලය භාවිත කිරීමේ අවසරයක් නොමැත.
එහෙත් දත්තවල පෞද්ගලිකත්වය සම්බන්ධයෙන් යුරෝපා සංගමය ලබන මැයි 1 වන දින නව විධිවිධාන ක්‍රියාවට නැගීමට පෙර සිය නීති සංශෝධනය කිරීමට 'වට්ස්ඇප්' ජාලය සූදානම් වෙනවා.
එහෙත් යුරෝපය හැර ලොව පුරා සියලු රටවල් සම්බන්ධයෙන් අවුරුදු 13 වයස් සීමාව සංශෝධනය කිරීමේ සැලසුමක් නොමැත.
ඉදිරි සති කීපය තුළ නව කොන්දේසි හඳුන්වා දෙන විට සිය වයස තහවුරු කරන මෙන් ග්‍රාහකයන්ට දැනුම්දීම WhatsApp ජාලයේ සැලසුම වී ඇත.
වර්තමානයේ පවතින ක්‍රමය අනුව, වට්ස්ඇප් ජාලයට සම්බන්ධවන පුද්ගලයන්ගේ වයස විමසීමක් සිදු නොවන අතර, ඔවුන්ගේ Facebook හෝ Instagram ගිණුම්වලින් තොරතුරු විමසා බැලීමක් ද සිදු නොවේ.
2017 දී නිකුත් කෙරුණු වාර්තාවක් ප්‍රකාර, බ්‍රිතාන්‍යයේ සමාජ මාධ්‍ය ජාල භාවිත කරන වයස 12ත් 15ත් අතර දරුවන් අතරින් තුනෙන් එකක් පමණම වට්ස්ඇප් ජාලයේ ග්‍රාහකයෝය.
නව විධිවිධාන හඳුන්වා දීමත් සමගම වට්ස්ඇප් ජාලය විසින් තමන් සම්බන්ධයෙන් රැස් කර තිබෙන දත්ත බාගත කිරීමට සිය ග්‍රාහකයන්ට අවස්ථාව සැලසෙන අතර, කිසියම් ග්‍රාහකයෙක් භාවිත කරන දුරකථනයේ වර්ගය, ඔහුගේ/ඇයගේ දුරකථනයේ ඇතුළත් දුරකථන අංක, ඔහු/ඇය විසින් තහනම් කර තිබෙන දුරකථන අංක වැනි දත්ත එයට ඇතුළත් වේ.
මේ අතර යුරෝපා සංගමයේ නව විධිවිධාන සම්බන්ධයෙන් ෆේස්බුක් සමාගම අනුගමනය කරන්නේ වෙනත් ක්‍රමවේදයකි.
සිය සමාජ ජාලය ඔස්සේ තොරතුරු බෙදාගැනීම පිණිස අනුමැතිය දිය හැකි සිය දෙමව්පියන්ගෙන් කෙනෙකු හෝ භාරකරුවකු නම් කරන මෙන් ෆේස්බුක් සමාගම වයස අවුරුදු 13ත් 15ත් අතර දරුවන්ගෙන් ඉල්ලා සිටියි.
එවැනි අනුමැතියක් නොලැබෙන්නේ නම් ඔවුන්ට ෆේස්බුක් ජාලයේ තමන්ගේම වූ පූර්ණ පිටුවක් පරිශීලනය කිරීමේ අවස්ථාව හිමි නොවනු ඇත.