සිඩ්නි නගරයේ වාසය කරන දොළොස් හැවිදිරි මෙම දරුවා සිය දෙමාපියන්ගේ බැංකු කාඩ්පත භාවිත කරමින් අන්තර්ජාලය ඔස්සේ ගුවන් ටිකට්පත් සහ නවාතැන් පහසුකම් වෙන් කරගෙන තිබේ.
බාලි දූපතේ නිවාඩුවක් ගත කිරීමේ සැලසුම දෙමාපියන් විසින් අවලංගු කළ බැවින් එම දරුවා ඔවුන් සමග උරණ වී නිවෙසින් බැහැරව ගොස් හොර රහසේ ඉන්දුනීසියාව බලා පිටත් වී ඇති බව ඔහුගේ ඥාතීහු 'නයින් නෙට්වර්ක්' නාලිකාවට පැවසූහ.
ඔහු සිය ගුවන් ගමන් බලපත්‍රය සහ පාසල් හැඳුනුම්පත පමණක් ඉදිරිපත් කරමින් පර්ත් නුවර හරහා බාලි දක්වා පියාසර කර තිබුණි.
මාර්තු 17 වන දින මෙම දරුවා බාලි දූපතේ සිටිය දී සොයා ගත් බව ඕස්ට්‍රේලියානු නිලධාරීන් පැවසූහ.
ඉන් දින නමයකට පෙර මෙම දරුවා නිවසට හෝ පාසලට පැමිණ නැති බවට පොලිසියට පැමිණිලි ලැබී ඇති අතර ඔහු කොපමණ දින ගණනක් බාලි දූපතේ සිටියා දැයි පොලිසිය මෙතෙක් හෙළි කර නැත.
ඔහු ගුවන් තොටුපොලේ ස්වයං සේවා භාවිත කරමින් සිඩ්නි නගරයේ ගුවන් පර්යන්තයෙන් ගුවන් යානයට ඇතුළු වී පර්ත් නුවර දක්වා පියාසර කර, නැවත ගුවන් යානයකින් බාලි දූපතට ගොස් ඇති බව නයින් නෙට්වර්ක් වාර්තා කරයි.
පර්ත් නුවර ගුවන් ගමන් නිලධාරීන් මෙම දරුවාගෙන් ප්‍රශ්න කර ඇත.
"මම අවුරුදු 12 ට වැඩි බව සහ පාසලේ ශ්‍රේණිය සනාථ කර ගන්න ඒ අය මගෙන් ගුවන් ගමන් බලපත්‍රය සහ පාසල් හැඳුනුම්පත ඉල්ලා සිටියා. මේ අත්දැකීම 'නියමයි'. මට ඕනෙ වුණේ නිර්භීත ක්‍රියාවක යෙදෙන්න," යැයි එම දරුවා මාධ්‍ය වැඩසටහනක දී පැවසීය.
පෙර වෙන් කර ගත් බාලි දූපතේ නවාතැන්පොළට ඔහු පවසා ඇත්තේ තම සොහොයුරිය පැමිණෙන තෙක් නැවතී සිටින බවය.
ඕස්ට්‍රේලියානු පොලිසිය පවසන්නේ මාර්තු 17 වන දින ඔහු බාලි දූපතට පැමිණ ඇති බව දැන ගැනීමට ලැබුණ බවය. රැඳවුම් භාරයේ සිටි මෙම දරුවා පසුව දෙමාපියන් වෙත භාරදීමට කටයුතු කර තිබේ.
"පුතා පිටරටකට පළා ගොස් ඇති බව දැන ගැනීමට ලැබුණ විට ඇති වුණ හැඟීම විස්තර කරන්න මට වචන නැහැ," යැයි මෙම ආරංචිය ලැබුණ පසු "දැඩි කම්පනයට" පත් මව මාධ්‍ය වැඩසටහනක දී පැවසුවාය.
මෙවැනි තත්වයක් නැවත ඇති වීම වැළැක්වීම උදෙසා සිද්ධිය පිළිබඳ කරුණු නැවත පරීක්ෂාවට ලක් කරන බව පොලිසිය පවසයි.
බාල වයස්කාර දරුවන් ගුවන් ගමන්වල යෙදීමේදී අනුගමනය කළ යුතු විශේෂ ක්‍රියාවලියක් ඇතත් එය අදාළ ගුවන් සමාගම අනුව වෙනස් විය හැකි බව ගුවන් ගමන් මෙහෙයුම් පිළිබඳ විශේෂඥ ආචාර්ය ක්‍රිස්ටල් ශැන්ග් පෙන්වා දෙයි.