චානක වෙළගෙදර කියන්නේ කාලයක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට ඔහුගේ පන්දුවේ වේගය වැදගත් වුණු ක්‍රීඩකයෙක්. දකුණත් පිතිකරුවෙක් වගේම වමත් වේග පන්දු යවන්නෙක්. එක් දින තරග 10ක් , පන්දු වාර විස්සයි විස්ස තරග 2ක් හා ටෙස්ට් වරම් 21 වතාවක් හිමි කරගන්නත් සමත් වූ ඔහු ආරම්භක පන්දු යවන්නා වුණා. ජාතික කණ්ඩායමෙන් ඉවත් වූ චානක මිට වසර තුනකට පෙර විදෙස් ගත වෙනවා. කෙටි නිවාඩුවකට මෙරටට පැමිණි චානක ඔහුගේ පවුලේ සාමාජිකයින් එක්ක ආයෙමත් විදෙස්ගත වුණා. මේ ඔහු ගැන තොරතුරුයි.
චානක මෙවර අලුත් අවුරුද්ද සමරන්න ලංකාවට ආවා නේද.. කොහොමද අලුත් තොරතුරු..?
හොදයි සතුටින් ජිවත් වෙනවා. අවුරුද්ද සමරන්න අපි ලංකාවට ආවා. කෙටි නිවාඩුවකට. මගෙයි බිරිදගෙයි දෙන්නගෙම ගම මාතලේ. අවුරුද්දට ගමේ තමයි හිටියේ. ගම අපිට හරි සමීපයි. මගේ තාත්තගේ පවුල හරිම ලොකුයි. අවුරුදු හතරකට පස්සේ තමයි මේ හැමෝම දැකබලා ගන්න ලැබුණේ. හැමෝ එක්කම සතුටින් කාලය ගත කරලා ආයෙමත් ඕස්ට්‍රේලියා ආවා. ලංකාව දාලා එන්න හිතුනෙත් නැහැ.
ශ්‍රී ලංකාවේ ඉන්න එතරම් කැමැත්තක් තියෙද්දී මෙරට අතහැරලා යන්න හිතුවේ ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමෙන් නිසි තැන නොලැබුණු නිසාද..?
මම ඕස්ට්‍රේලියා එන්න වසර එකහමාරකට කලින් ආබාධයකට ලක් වුණා. ඊට පස්සේ මම යථාතත්වයට පත් වුණා. නමුත් ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒත් එක්කම මට ඕස්ට්‍රේලියාවෙ ක්‍රිකට් ක්‍රීඩා සමාජයකින් හොද ඔෆර් එකක් ආවා. එහේ පුරවසිභාවයත් එක්ක. මම මේ ගැන තේරීම් කමිටුව එක්ක කතා කළා. මට කිව්වා මාස 8ක් විතර ඉවසන්න වෙයි කියලා. මම කල්පනා කළා මම එහෙම ඉවසගෙන හිටියොත් ඕස්ට්‍රේලියා අවස්ථා අහිමි වෙයි ජාතික කණ්ඩායමට අවස්ථාව නොලැබෙන්නත් පුළුවන් කියලා. මම තීරණයක් ගත්තා ලැබුණු අවස්ථාවෙන් ප්‍රයෝජනයක් ගන්නවා කියලා. එහෙම තමයි මෙහෙ ආවේ.
උපන් බිම හා උපන් රටේ ඔබට ආදරය කළ ක්‍රීඩාලෝලීන්ගෙන් ඈත් වෙලා යන දුකක් හිතුනේ නැද්ද..?
මම හිතනවා මොන දේ වුණත් මම මේ ගත්ත තීරණය හරි කියලා. හොදක් හෝ නරකක් වෙයි කියන අවධානම එක්ක තමයි මම මෙහෙ අවේ. නමුත් මට හොද දෙයක් වුණා මිසක් නරකක් වුණේ නැහැ.
යළිත් මව් බිම වෙනුවෙන් සේවයක් කරන්න අවස්ථාවක් ලැබුණොත්..?
ලංකාවේ දක්ෂයින් ගොඩක් ඉන්නවා අපේ ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් සේවය කරන්න. මම හිතන්නේ නැහැ මගේ සේවය අවශ්‍ය වෙයි කියලා. මම ක්‍රිකට් පුහුණුකරු විභාගයක් ලිව්වා. මේ දවස්වල තවත් විභාගයකට සුදානම් වෙනවා. ඒ විභාගය අවසන් වුණාට පස්සේ මම හිතනවා ක්‍රිකට් පුහුණුකරුවෙක් විදිහට සම්පුර්ණයි කියලා අධ්‍යාපන මට්ටමින්. ජාතික කණ්ඩායමට මගෙන් උදව්වක් ඕන වුණොත් ඒ ගැනත් හිතනවා. නමුත් දැන්ම ලංකාවට එන්න හිතන්නේ නැහැ.
ඔබ ඕස්ට්‍රේලියාවේ ක්‍රිකට් වෙනුවෙන් කරන මෙහෙය ගැන කිව්වොත්..?
මම එහේ ක්‍රීඩා සමාජ පහක පුහුණුකරු නායකයා විදිහට කටයුතු කරන්නේ. කණ්ඩායම් පහක වැඩ කරන්න ලැබීම සතුටක්. එහේ ක්‍රිකට්වල ඉගෙන ගන්න බොහෝ දේ තියෙනවා. මම සේවයක් කරන ගමන් මමත් ඉගෙන ගන්නවා වගේ හැගීමක් මට තියෙන්නේ.
ඔබ වගේ ක්‍රිකට් ක්‍රීඩකයෙක් කරන්න ඔබට ඉන්නේ එක පුතෙක් විතරයි. නමුත් දියණියන් දෙදෙනාත් ක්‍රිකට් ක්‍රීඩා කරනවා නේද..?
මට ඉන්නේ දරුවෝ තුන්දෙනෙක්. ලොකු දුව ඩියනා. එයාගේ වයස 11යි. දෙවනියා ලියනා. වයස අවුරුදු 8යි. පුතා තරුන්. එයාගේ වයස තවම අවුරුදූ 4යි. දුවලා දෙන්නා මම ඉන්න ක්ලබ් එකක සෙල්ලම් කරනවා. ඒ දෙන්නගේ දක්ෂතා දකින්න ලැබෙනවා. ලොකු දුව නම් ඉතා දක්ෂයි. එහේ ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා අතරේ ඉදිරියෙන්ම ඉන්නේ එයා. හොදම පිතිකාරිනිය වුණා. පුතා එක්ක ක්‍රිකට් ගහන්න නම් සැහෙන කාලයක් බලාගෙන ඉන්න වෙයි.
ඔබ ක්‍රිකට් ක්‍රීඩාවට සම්බන්ධ වෙලා වසර 20ක් පමණ වෙනවා. විවාහයෙන් පසුව ආදරණිය බිරිදගෙන් ඔබට ලැබුණු සහයෝගය ගැනත් මතක් කරමු..?
මම ලංකාවේ ඉන්නකොට අතිශය කාර්යබහුල ක්‍රීඩකයෙක්. ඒ කාලේ අපිට පවුල් ජිවිතයක් නොතිබුණු තරම්. පවුලේ අය එක්ක සතුටින් ජිවත් වෙන්නවත් හරියට ලැබුනේ නැහැ. ඒ කාලේ මගේ බිරිද දරුවෝ එක්ක පවුලේ වගකිම් ගැන හොදින් හොයලා බලලා කටයුතු කළා. මගේ ක්‍රිකට් ජීවිතේටත් උදව් කළා. මම හිතනවා මෙහෙ ආවට පස්සේ මට පවුල් ජිවිතේ දැනෙනවා කියලා. මොකද උදේට රාජකාරියට ගිහින් හවසට ආවට පස්සේ පවුලේ අය එක්ක ජිවිතේ විදින්න අවස්ථාව තියෙනවා. පවුල් ජිවිතයක් ගත කරනවා කියන හැගීම දැනෙන්නේ දැන් තමයි. අදටත් මට බිරිදගෙන් සහයෝගයනම් උපරිමයෙන්ම ලැබෙනවා.
බිරිද කියන්නේ නැද්ද ක්‍රීඩාවෙන් සමු ගන්න කියලා..?
නැහැ. එයා බලාගෙන ඉන්නේ මම පුතා එක්ක ක්‍රිකට් මැච් එකක් ගහනකල්. අඩුතරමින් පුතාට අවුරුදු 14ක්වත් වෙන්න ඕන.
අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවේ පසුබෑමක් තිබෙනවා. ඔබ ජාතික කණ්ඩායමට ක්‍රීඩා කරන කාලවකවානුවේ මෙරට ක්‍රිකට් හොද මට්ටමක තිබුණා. ඔබට ඒ ගැන මොකද හිතෙන්නේ..?
අපි ක්‍රීඩා කරන කාලේ දක්ෂ ක්‍රීඩකයින් හිටියා. හොද පුහුණුවක් එක්ක හා කැපකිරීම් කරන ක්‍රීඩකයින්. සංගා, මහේල, මාලිංග ඇන්ජලෝ වගේ. මම ඉන්න මුල් කාලේ පිතිකරණ සහය පුහුණුකරු වුණේ චන්දික හතුරුසිංහ මහතා. ඔහු වත්මන් ප්‍රධාන පුහුණුකරු. මම හිතනවා ඒ කාලේ අපිව හැදුවා වගේ දැන් ඉන්න කණ්ඩායම හොද මට්ටමකට ගෙන එන්න ඔහු කටයුතු කරයි කියලා. දක්ෂ ක්‍රීඩකයින් දැනුත් ඉන්නවා.
ක්‍රීඩකයෙක් ලෙස විශ්‍රාම ගත්තත් ක්‍රිකට් තරග නරඹන්න අමතක කරන්නේ නැතුව ඇති..?
ලංකාවේ කණ්ඩායම තරග කරන බොහෝ තරග මම නරඹනවා. වෙලාවක් තියෙන විදිහට.මෙහෙ පැවැත්වෙන සජීවී තරග නරඹන්නත් යනවා.