කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේදී පසුගිය 21 වනදා උදෑසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබුණා.
අනතුරට ලක් වූ යතුරු පැදිය කොට්ටාව සිට හෝමාගම දෙසට ධාවනය කර ඇති අතර එය මාකුඹුර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ටිපර් රථයේ ගැටීමෙනුයි මෙම අනතුර සිදු වුණේ. මෙම මාරක අනතරින් මියගිය තරුණයාගේ මව්පියන් පුවත්පතක කියලා තිබුණු සංවේදි කතාව පහතින්.
"මගේ රත්තරං පුතා යතුරුපැදියෙන් රැකියා කරන ස්‌ථානයට යමින් ඉන්නකොට ටිපර් ලොරි රථයක ගැටිලා ඒකටම යටවෙලා තිබෙනවා. පුතාගේ මරණයට ටිපර් රථ රියෑදුරා වගකියන්න ඕනෑ. ඒ රියෑදුරාගේ රියෑදුරු බලපත්‍රය මුළු ජීවිත කාලයට ම අවලංගු කරන්න කියලා අපි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා..." යෑයි ඩී. එච්. උපුල් ප්‍රියන්ත මහතා දැඩි කම්පනයෙන් යුතුව පෙරේදා (23 වැනිදා) පැවසීය.
කොට්‌ටාව, මාකුඹුර ප්‍රදේශයේදී රාජකාරී කටයුතු සඳහා යතුරුපැදියෙන් ගමන් කරමින් සිටි පෞද්ගලික ආයතනයක වෙළෙඳ සහයකවරයකු ටිපර් ලොරි රථයක ගැටී එයට ම යට වී මරුමුවට පත් වීම සම්බන්ධයෙන් තොරතුරු සොයා ගිය ගමනේදී මියගිය වෙළෙඳ සහායකවරයාගේ පියා එසේ කීය.
මෙම අනතුරින් මියගොස් ඇත්තේ බොරලැස්‌ගමුව, අබේරත්න මාවතේ, මානෙල් පටුමඟ පදිංචිව සිටි ඩී. එච්. තිසර ජීවන්ත (21) නමැති තරුණයෙකි. මියයන විට ඔහු මාකුඹුර ප්‍රදේශයේ පිsහිටි දම්රෝ ආයතනයේ වෙළෙඳ සහායකවරයකු ලෙස සේවය කරමින් සිටියේ ය.
ඔහු නුගේගොඩ ශාන්ත ජෝන් විදුහලේ ආදි සිසුවෙකි. අප පෙරේදා (23 වැනිදා) උදේ බොරලැස්‌ගමුවේ පිහිටි තිසරගේ නිවසට යන විටත් ඔහුට සිදු වූ විපත අසා ඥතීන්, පාසල් මිතුරන්, අසල්වැසියන් හා රැකියා ස්‌ථානයේ මිතුරු මිතුරියන් රැසක් පැමිණ සිටිනු දැකගත හැකි විය.
මෙහිදී තවදුරටත් කතා කළ තිසරගේ පියා වන උපුල් ප්‍රියන්ත මහතා මෙසේ ද කීය,
"මගේ පුතා වැඩ කළේ පෞද්ගලික ආයතනයක වෙළෙඳ සහායකවරයෙක් හැටියටයි. පුතාට තොරතුරු තාක්‌ෂණය ගැනත් හොඳ දැනීමකුත් තිබුණා. පුතාට මේ විපත සිද්ධ වුණේ පසුගිය 21 වැනිදා උදේ 8.50 ට විතර. එදා මම උදේ දුවව පන්ති දාන්න ගියා. ඒ ගිය වෙලාවේ තමයි ආරංචි වුණේ පුතා ටිපර් ලොරියකට යටවෙලා කියලා. අනේ මගේ රත්තරං පුතා කාටවත් කරදරයක් නැතිව ජීවත් වෙච්ච කෙනෙක්.
පුතා කොට්‌ටාව පැත්තේ ඉඳලා හෝමාගම පැත්තට යතුරුපැදියෙන් යනකොට මාකුඹුර පෙට්‍රල් ෂෙඩ් එක අසලදී එකපාරට ම මේ ටිපර් ලොරිය වමට හරවන කොටම පුතාගේ යතුරුපැදියේ හැපිලා තියෙනවා. ඒ එක්‌කම පුතා යතුරුපැදියත් එක්‌කම යටවෙලා තිබෙනවා. මේක තනිකරම ටිපර් රියෑදුරාගේ නොසැලකිල්ල නිසා වෙච්ච මරණයක්. මේ ටිපර් එක යාංගල්ඔය පැත්තේ ඉඳලා ආපු එකක් කියලත් ආරංචියි.
දැන් මේ ටිපර් රියෑදුරා රිමාන්ඩ් එකේ ඉන්නේ. එයා දවස් 14 ක් රිමාන්ඩ් එකේ ඉඳලා එයි. නමුත් මගේ පුතාට ජීවිතය ලැබෙන්නේ නැහැනේ. ඒ නිසා මම අධිකරණයෙන් ඉල්ලා සිටින්නේ මේ රියෑදුරාගේ රියෑදුරු බලපත්‍රය ජීවිත කාලයට ම අත්හිටුවන්න කියලයි. එයාට මේ වගේ ජීවිත කාලයට ම අමතක නොවන දඬුවමක් දෙන්න ඕනෑ. නැත්නම් මෙයා එළියට ඇවිත් මහමඟ තවත් අහිංසක ජීවිත කීයක් බිල්ලට ගනියි ද දන්නේ නැහැ".
ඊළඟට හැඬූ කඳුළින් කතා කළේ තිසරගේ මව වන ස්‌ටෙලා අනෝජනී මහත්මිය මෙසේ කියා සිටියා ය.
"පුතා රස්‌සාව කරන ගමන් ගෙදරටත් කළ යුතු සියල්ලම කළා. පුතා හරිම අවංක දරුවෙක්. පුතාට අනතුරක් වෙලා කියලා ආරංචි වුණාම මට මොනවා වුණාද මං දන්නේ නැහැ. අනේ මගේ රත්තරං දරුවා බිලිගත්තු මේ ටිපර් රියෑදුරාට නීතියෙන් උපරිම දඬුවම් දෙන්න ඕනෑ. පුතා නැති ගේ දැන් පාළු වෙලා. පුතා මටත්. මහත්තයටත්, දුවටත් පුදුම විදියට ආදරෙයි".
මියගිය තිසරගේ එකම නැගණිය වන සසිනි ඉමාෂා මෙසේ කීවා ය.
"මම ක්‌ලාස් එකේ ඉන්න වෙලාවේ තමයි දැනගත්තේ අයියා අනතුරකට ලක්‌වෙලා කියලා. අයියා මට හුඟක් ආදරෙයි. එයා මං ගැන හැම වෙලාවෙම හොයලා බැලුවා. පුදුම සහෝදර බැඳීමක් තිබුණේ".
මෙම රිය අනතුරින් මියගිය තිසරගේ දේහය පිළිබඳ අවසන් කටයුතු පෙරේදා (23 වැනිදා) මළ හිරු බැස යන සන්ධ්‍යා යාමයේ විශාල පිරිසකගේ දැඩි ශෝකාලාපයන් මධ්‍යයේ බොරලැස්‌ගමුව පොදු සුසාන භූමියේදී සිදුකෙරිණි. -ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඥනතිස්‌ස ජයවර්ධන- අනතුරේ CCTV වීඩියෝව පහතින්..VIDEO