අපේ නළු නිළියෝ හැමදාම කියන්නේ ස්ක්‍රිප්ට් එකේ තියෙන වචන ටික විතරයි. අපේ වගේම, පිටට නොකියන ගොඩක් දේවල් ඒ හිත් වලත් තියෙනවා.
හැබැයි ඉතිං හොලිවුඩ්, බොලිවුඩ් වල නළු නළියේ නම් හිතන්න පතන්න පටන්ගන්නෙත් අපිට වඩා ගව් ගානක් ඉස්සරහ ඉඳන්. ඒ අයගෙ එකම පැතුම ජීවතුන් අතර ඉන්න කාලෙම, කොහොම හරි ලන්ඩන් වල Madame Tussauds ඉටි කෞතුකාගාරයේ ඉටි රූපයක් වෙලා අමරණීය වෙන්නයි.
ඒක මැරෙනවටත් වඩා අමාරු වැඩක්. ලෝකෙ පුරාම ප්‍රසිද්ධ වෙන්නත් ඕනෙ, වාසනාව තියෙන්නත් ඕනෙ. එතකොට ඉටි පිළිමයක් වෙලා අමරණීය වෙන්න පුළුවන්.
අපි දන්න කියන මයිකල් ජැක්සන්, ඇල්බට් අයින්ස්ටයින්, ඩයනා කුමරිය වගේම, අපේ අල්ලපු වත්තේ අමිතාබ් බච්චන්, ෂාරුක් ඛාන්, සල්මන් ඛාන්, ඓශ්වර්යා රායි, මධුරි ඩික්සිත්, කරීනා කපුර්, රිතික් රෝෂන් මේ වෙද්දිත් Madame Tussauds කෞතුකාගාරයේ අමරණීය ඉටි පිළිම වෙලා ඉවරයි. මේ අය අතරට හෙට අනිද්දට ඔන්න කත්‍රිනාත් එකතු වෙනවා කියලා ආරංචියි.
රිතික් එක්ක රඟපාන “Bang Bang” චිත්‍රපටයේ සාර්ථකත්වයත් එක්කම කත්‍රිනාවත් ඉටි කරන්නයි ලන්ඩන් උදවිය මේ වෙද්දි තීරණය කරලා තියෙන්නෙ. අනිත් අයව හැදුවා වගේම කත්‍රිනාවත් ජීවී ප්‍රමාණයෙන්ම ඉටියෙන් නෙලලා, ලබන අවුරුද්දෙදි එළි දක්වන්නයි ඒ අයගෙ සූදානම.
හැබැයි පොඩි කොස්සක් තියෙනවා. ආරංචියේ විදිහට කත්‍රිනාගේ ඉටි පිළිමේ තියන්න ඉන්නෙ රිතික්ගේ ඉටි පිළිමෙ ගාවින්. ඕක දැක්කම ඉතින් කාටද ජෙල කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනෙ.