පුද්ගලයාගේ වයස, වකුගඩුවලට හානි සිදුවී තිබේද, හෘදයාබාධ මතුවී තිබේද, කකුල්වල තුවාල මතුවී තිබේද සහ දියවැඩියාවට කෙලින්ම බලපෑමක් නැතත් දණහිස් ආබාධ මතුව තිබෙනවාද යන්න පිළිබඳව ආදී කරුණු රැසක් සලකා බැලිය යුතුයි යෑයි යම් පුද්ගලයකු පැවසුවහොත් එම පුද්ගලයා දෙස අන් අය බලනුයේ දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයකු යෑයි කියාය. එනිසා ඇතැම් අවස්‌ථාවලදී දියවැඩියා රෝගීන්ට සීනි යනු පැණි රස දෙයක් නොව තිත්ත රස දෙයක් බවට පත්වේ.
දියවැඩියා රෝගීන් තම දිනපතා ආහාර වේල සඳහා සීනි සහිත ආහාර වර්ග එක්‌කර ගැනීමේදී අනුගමනය කළ යුතු නිවැරදි පිළිවෙත කුමක්‌ද?
දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයකුට ප්‍රතිකාර ලබාදීමේදී සහ ඔවුන් දිනපතා ගනු ලබන ආහාර පාන පිළිබඳව උපදෙස් ලබාදීමේදී එම පුද්ගලයා රෝගියකු ලෙස නොසලකා සාමාන්‍ය පුද්ගලයෙක් ලෙස ප්‍රතිකාර ලබාදීමට පියවර ගන්නවා. ඒ සඳහා එම පුද්ගලයාගේ ජීවන රටාවේ යම් වෙනස්‌කම් සිදුකරනවා.
මෙම වෙනස්‌කම් මගින් රෝගය පාලනය වීමත් සාමාන්‍ය ජීවිතය තෘප්තිමත්ව ගතකිරීමටත් හැකි වෙනවා.
දියවැඩියාව රෝගයේදී ආහාර පාලනය කළ යුතු වන්නේ පවතින රෝග තත්ත්වය සලකා බැලීමෙන් පසුවයි.
දියවැඩියා රෝගය මතුව ඇත්තේ සිරුරින් ඉන්සියුලින් බිංදුවක්‌වත් නිපදවන්නේ නැති කාණ්‌ඩ I ((Type-I) වර්ගයේ දියවැඩියා තත්ත්වය ද එසේත් නැතිනම් වයසට යැමත් සමග ඇතිවන අග්න්‍යාසයෙන් ඉන්සියුලින් නිපදවීම අඩුවන කාණ්‌ඩ II ට (Type-II) අයත් දියවැඩියාව ද නිසා පරීක්‍ෂා කළ යුතුයි.
ඊට අමතරව පුද්ගලයාගේ වයස, වකුගඩුවලට හානි සිදුවී තිබේද, හෘදයාබාධ මතුවී තිබේද, කකුල්වල තුවාල මතුවී තිබේද සහ දියවැඩියාවට කෙලින්ම බලපෑමක් නැතත් දණහිස් ආබාධ මතුව තිබෙනවාද යන්න පිළිබඳව ආදී කරුණු රැසක් සලකා බැලිය යුතුයි. අනතුරුවයි එම පුද්ගලයාගේ ආහාර පාලනය සඳහා වෛද්‍යවරයා යොමුවන්නේ.
එසේම එම පුද්ගලයාගේ රැකියාවේ ස්‌වභාවය කය වෙහෙසවා වැඩ කරන කාල සීමාව ආදිය ගැනත් සලකා බැලිය යුතුයි.
තරුණ අයට ශක්‌තිය වැඩිපුර අවශ්‍යයි. ඔවුන් ගනු ලබන ආහාර පාලනය කිරීම ඔවුන්ගේ ශරීර වර්ධනයට හානියක් සිදු නොවන අයුරින් කළ යුතුයි.
දියවැඩියා රෝගයේදී ආහාර පාලනය සිදු කිරීමේදී වැඩි අවධානයක් යොමු කරන්නේ පිෂ්ට ජනක ආහාර සම්බන්ධවයි. සරල පිෂ්ටය වැඩිපුර අඩංගු ආහාර සීමා කළ යුතුයි.
එම ආහාර මගින් ශරීරයට එකවර ග්ලූකෝස් විශාල ප්‍රමාණයක් මුදාහරිනවා. එම ග්ලූකෝස් පාලනය සඳහා ප්‍රමාණවත් ඉන්සියුලින් අග්න්‍යාසය මගින් නිපදවන්නේ නැහැ. එසේ වූ විට රුධිරයේ පැවැතිය යුතු ග්ලූකෝස් මට්‌ටම ඉහළ යනවා.
පිෂ්ට ජනක ධාතු සහිත ආහාර
බත්, ඇට වර්ග, ධාන්‍ය වර්ග ඕනෑම අල වර්ගයක්, වට්‌ටක්‌කා, කැරට්, බීට්, කොස්, දෙල්, අලුකෙසෙල් වැනි එළවළු ලෙස අප භාවිත කරන ආහාර වර්ගවල පිෂ්ට ජනක ධාතු බහුලව තිබෙනවා.
මෙම පිෂ්ඨ ජනක ආහාරවලින් සරල සීනි ප්‍රමාණය ඉහළ අගයක තිබෙන ආහාර (High Glycaemic Index) සහ සරල සීනි ප්‍රමාණය පහළ අගයක තිබෙන ආහාර (Low GlycaemicIndex) ලෙස ආහාර වර්ග තිබෙනවා.
පාන් පිටිවලින් නිපදවූ ආහාරවල සරල සීනි ප්‍රමාණය ඉහළ අගයක පවතිනවා. එවැනි ආහාරවලින් ඉතා ඉක්‌මනින් ශරීරයට සීනි මුදාහරිනවා.
නාඩු සහල්, තම්බාපු සහල්, ආටා පිටි, කුරක්‌කන් පිටි ආදියෙහි වැඩිපුර පවතින්නේ සංකීර්ණ කාබෝහයිඩේ්‍රට්‌ය. එවැනි ආහාරවල ඇති සරල සීනි ප්‍රමාණය අඩු නිසා එම ආහාර ගත් විට ශරීරයට ඉතා ඉක්‌මනින් සීනි මුදා හැරීමක් සිදුවන්නේ නැත.
ආහාර පාලනය කරන අයුරු
පළමු කාණ්‌ඩයේ (Type-I) දියවැඩියා රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගේ ශරීරයෙන් ඉන්සියුලින් නිපදවන්නේ නැති නිසා ඔවුනට බාහිරින් ලබාදෙන ඉන්සියුලින් ප්‍රමාණය ගැන අවධානය යොමුකර සීනි සහිත ආහාර පාලනය කළ යුතුයි. (Carbohydrate Counting)
දෙවැනි කාණ්‌ඩයේ (Type-II) දියවැඩියාවෙන් පෙළෙන පුද්ගලයන්ගේ ශරීරයෙන් ඉන්සියුලින් නිපදවන නිසා ඔවුනට යම් ප්‍රමාණයකට රුධිරයේ සීනි පාලනය කරගත හැකියි. නමුත් ඔවුන් ද වෛද්‍ය උපදෙස් මත ආහාර පාලනය කරගත යුතුයි.
බොහෝ දෙනා ආහාර ගනු ලබන ක්‍රමයේ වැරදි නිසා ශරීරයට අනවශ්‍ය ලෙස සීනි එකතු වෙනවා. උදාහරණයක් ලෙස පාන්, ඉදිආප්ප වැනි ආහාර අනුභව කිරීම සඳහා ව්‍යංජනයක් ලෙස යොදාගන්නේ පරිප්පු හෝ අල හොද්දක් මේ සියල්ලම සරල සීනි බහුල ආහාර නිසා මෙම ආහාර වේලක් ගැනීමෙන් ශරීරයට වැඩිපුර එකතු වන්නේ සීනි පමණයි.
එනිසා පාන්, ඉඳිආප්ප වැනි ආහාර ගැනීමේදී සම්බෝල, මස්, මාළු වැනි ව්‍යංජනයක් එක්‌කර ගැනීම සුදුසුයි.
එසේම ඇතැම් දෙනා තම ආහාර වේලට බත් මඤ්ක්‌කා, කොස්, දෙල් ආදිය සියල්ල එකතු කර ගන්නවා. මේ සියල්ලම සීනි බහුල ආහාර. එනිසා බත් සමග කොස් දෙල් අල වැනි ආහාරයක් එකතු කර ගැනීමේදී ඒවා අඩු ප්‍රමාණයකින් එක්‌කර ගත යුතුයි. නැතිනම් ආහාරයට එක්‌කර ගන්නා බත් ප්‍රමාණය අඩුකළ යුතුයි. දියවැඩියා රෝගීන් තම ආහාර වේලට පළා වර්ග, කොළ පැහැති එළවළු වැඩිපුර එක්‌කර ගැනීමෙන් පිෂ්ටය සහිත ආහාර ගැනීම පාලනය කර ගත හැකියි.
පළා වර්ග කෙතරම් ප්‍රමාණයක් ආහාරයට ගත්තත් රුධිරයේ සීනි මට්‌ටම ඉහළ යන්නේ නැහැ. එවැනි පළා වර්ග වැඩිපුර ගත් විට කුස පිරෙන නිසා පිෂ්ට ආහාර වැඩිපුර ගැනීමට සිදුවන්නේ නැහැ.
කුකුල් මස්, බිත්තර, මාළු වැනි ප්‍රොaටීන් සහිත ආහාර ගැනීම ගුණදායකයි. ඉන් රුධිර සීනි ප්‍රමාණය ඉහළ යන්නේ නැහැ.
තෙල් සහිත ආහාර වැඩිපුර ගැනීම හොඳ නැහැ. ඉන්සියුලින් ප්‍රතිරෝධයක් ඇතිවිය හැකියි. බහු අසංතෘප්ත මේදය (Poly unsaturated) සහිත ආහාර සීමාසහිත ප්‍රමාණයක් ගැනීම සුදුසුයි.
දියවැඩියා රෝගීන් නිතරම තම ආහාර සැලසුමකට අනුව ගැනීමට හුරු විය යුතුයි.
ප්‍රධාන ආහාර වේල් තුන අතර ඇතිවන කුසගින්න නිවා ගැනීම සඳහා වතුර වීදුරුවක් පානය, සිනී නොදැමූ අඩු මේදය සහිත කිරි වීදුරුවක් පානය, Green Tea කෝප්පයක් පානය, කොළ පැහැති ඇපල් කෑල්ලක්, ඉදුණු වෙරළු, ඇඹරැල්ල, දිවුල් වැනි පලතුරක් ආහාරයට ගැනීම කළ හැකියි.
කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජාතික රෝහලේ අන්තරාසර්ග රෝග පිළිබඳ විශේෂඥ
වෛද්‍ය ප්‍රසාද් කටුලන්ද