"ෂර්මා මට ටිකට් එක ලබා දුන්න නිසා මගේ පියාගේ සැත්කම සාර්ථකව කෙරුණා"
"ෂර්මා මට මුදල් දෙන්නත් සූදානම් වුණා මම ගත්තේ නැහැ. ඔහු රත්තරන් මනුස්සයෙක්."
මේ දිනවල ශ්‍රී ලංකාවේ පැවැත්වෙන නිදහස් කුසලාන තුන්කොන් 20 යි 20 තරඟාවලිය සඳහා ක්‍රීඩා කරන ඉන්දීය කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණ තිබෙන අතර අවසන් තරඟය අද බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පැවැත්වීමට නියමිතයි.
නිදහස් කුසලාන තරඟාවලියේ ඉන්දීය කණ්ඩායමේ නායකත්වයයේ වගකීම පැවරී ඇත්තේ රෝහිත් ශර්මා හටයි.
පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන්දියාවේ කළ සංචාරයේදී ශ්‍රී ලංකා කණ්ඩායම දිරිමත් කිරීමට ගයාන් මංජුල සමඟ ඉන්දියාවට ගොස් සිටි නිලාම්ගේ පියා අසනීප වුණ බව දැනගත් ඉන්දීය නායක රෝහිත් ෂර්මා වහාම නිලාම්ට ආපසු ලංකාවට ඒම සඳහා ගුවන් ටිකට් පතක් වෙන්කරදී තිබුණා.
එම සිදුවීම අමතක වී නොමැති ඉන්දීය නායකයා මේ දිනවල පැවැත්වෙන නිදහස් කුසලාන තරගාවලිය අතරතුරදී නිලාම්ගේ පියාගේ සුවදුක් විමසා බැලීම සඳහා ඔහුව බැලීමට ගොස් තිබෙන බව වාර්තා වනවා.
පසුගිය වසරේ ෂර්මා නිලාම්හට ගුවන් ටිකට් පතක් ලබා දීම පිළිබඳව නිලාම් ෂර්මා වෙත ස්තූතිය පල කර තිබුනේ මෙහෙමයි..
"මගේ පියාගේ රෝගී තත්ත්වය ගැන දැනගත්තාම මම මහත් පීඩාවට පත්වුණා. එහෙත් ෂර්මා මට කලින් එන්න ටිකට් එක ලබා දුන්න නිසා මගේ පියාගේ සැත්කම සාර්ථකව කෙරුණා. ටිකට් එක පමණක් නෙවෙයි ෂර්මා මට මුදල් දෙන්නත් සූදානම් වුණා. මම ගත්තේ නැහැ. ඔහු රත්තරන් මනුස්සයෙක්. ෂර්මා පමණක් නෙවෙයි විරාත් කෝලි ඉතාලියේ සිට මට කෙටි පණිවිඩයක් එවලා අවශ්‍ය උදව්වක් ඕනෙ නම් කියන්න කියලා තිබුණා"