Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්



Mar
14
ලෙයට ලෙයින් පළිගත් තණමල්විල "පොයින්ට් කළුවා"ගේ ඝාතන සිද්ධියේ නොදත් කතාව මෙන්න

- ලෙයට ලෙයින් පළිගත් තණමල්විල "පොයින්ට් කළුවා"ගේ ඝාතන සිද්ධියේ නොදත් කතාව මෙන්නHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

33 Views
“දෙකේ ගම්බාරේ”මැරූ පළිය ගත්තාද?

කළුවා මරමු කියලා අපිට අදහසක් ආවා..

පාලු ළිඳකට කැත්තයි පිහියයි දාලා අපි ගෙවල් වලට ගියා..

තණමල්විල, ගල්වලයාය ප්‍රදේශයේ පදිංචිව සිටි “දෙකේ ගම්බාරේ” යන අනවර්ථ නාමයෙන් හැඳින් වූ පුද්ගලයා ඝාතනය වන්නේ දෙදහස් පහළොව වර්ෂයේ මැද භාගයේදීය.

එම ඝාතනයට සැකපිට පුද්ගලයන් තිදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. ඒ... ගුරුසිංහ ආරංචිගේ නිහාල් නොහොත් “පොයින්ට් කලුවා” සහ ඔහුගේ පුතුන් දෙදෙනාය.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව පියාත්, තරුණ පුතුන් දෙදෙනාත් රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. අනතුරුව ඇප මත මුදා හැරුණු අතර එම නඩුව මහාධිකරණයට යොමු කිරීමට අවශ්‍ය කටයුතු සම්පාදනය වෙමින් පවතී.

ඇප මත එලියට ආ පොයින්ට් කලුවා ත්‍රිරෝද රථ රියැදුරකු ලෙස යළිත් සිය රැකියාවේ යෙදුණ අතර ඔහු තණමල්විල නගරයේ ත්‍රිරෝද රථ ගාලේ සිට රැකියාවේ නිරත විය. ඊට පෙර ඔහු ගොවියෙකි. ගල්වලයාය ප්‍රදේශයේ ඔහුට අයත් වගා ඉඩමක් තිබු අතර වගා කටයුතු ද හොඳින් කරගෙන ගියේය.

දෙකේ ගම්බාරේ මරා දමා ඇතුලට ගොස් ආපසු පැමිණීමෙන් අනතුරුව ද මොහු වගා කටයුතු කරගෙන ගිය නමුත් පසුව ඔහුට ඒවා කරගෙන යාමට නොහැකි තත්ත්වයක් උදා විය. ඊට එක් කරුණක් වුයේ ඔහුගේ වගා බිමේ තිබු වාඩිය යම්කිසි පුද්ගලයකු විසින් ගිනි තබා විනාශ කිරීමයි.

මෙම සිද්ධිය පිළිබඳ කලුවා පොලිසියට පැමිණි කළ අතර ඔහු පවසා සිටියේ සිය ඉඩමට ආසන්නයේ පිහිටි ඉඩමේ හිමිකරු වන වසන්ත මෙම ගිනි තැබීම කළ බවයි.

ඒ අනුව පොලිසිය වසන්ත අත්අඩංගුවට ගන්නා අතර ඔහුට විරුද්ධව නඩු පැවරිණි. එම නඩු විභාගය අවසානයේ වසන්ත වැරදිකරු වූ අතර ඔහුට කළුවාගේ වාඩියේ අලාභය ගෙවීමට නියම විය. ඒ අනුව රුපියල් පනස්දහසක මුදලක් ගෙවු වසන්ත ඉතිරිය පසුව ගෙවීමට පොරොන්දු විය.

එම සිද්ධියෙන් අනතුරුව කලුවා වගාව අතහැර දැම්මේය. එයට එකම හේතුව වුයේ වසන්ත වාඩියට ගිනි තැබීම පමණක් නොව කලුවා අතින් ඝාතනය වු දෙකේ ගම්බාරෙ ගේ මල්ලී “දෙකේ චුටා” ගේ සහ පුතා චාමර ගේ වගා ඉඩම් ද මේ ඉඩම අවට පිහිටා තිබීමය.

කෙසේ වෙතත් කල් ගතවෙද්දී වසන්ත සියලු තරහ මරහ අතහැර පොයින්ට් කලුවා සමඟ හිතවත් වීමට වගබලා ගත්තේය. කලුවා ද ඊට එකඟ වු අතර වසන්ත කලුවාට ත්‍රිවිල් හයර් පවා සොයා දුන්නේය. දෙදෙනා එකට අඩි ගසන තත්ත්වය දක්වාම මිතුදම දලුලා වැඩිණි.

මෙලෙස කාලය ගෙවී යද්දී පසුගිය විසි හත් වැනිදා සවස දෙකට පමණ 119 පොලිස් හදිසි ඇමතුම් අංශයෙන් තණමල්විල පොලිසියට තොරතුරක් ලැබිණි. ඒ... කුකුල්කටුව වැව අසල ත්‍රිරෝද රථයක් පිච්චෙන බවත් එහි පුද්ගලයකු ද සිටින බවත් කියමිනි. එම ඇමතුමෙන් තව දුරටත් කියා සිටියේ තම හේනට යමින් සිටි පුද්ගලයකු ත්‍රිරෝද රථයක් ගිනි ගන්නා අයුරු දැක ඒ අසලට ගොස් මිනිස් පාදයක් ද තිබෙනු දැක බියට පත්ව ඈතට දිවගොස් මෙම ඇමතුම ලබා දී ඇති බවය.

තොරතුර ලද වහාම මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කණ්ඩායමක් ද සමඟ එම ප්‍රදේශය බලා පිටත් විය. පොලිසියේ සිට කිලෝමීටර් හතරක් පමණ දුරින් පිහිටි කැලෑබද ප්‍රදේශයට ළඟා වීම තරමක් අපහසු බව පෙනුනද ත්‍රිරෝද රථ ගමන්ගන්නා බැවින් ජීප් රථයට එතරම්ම අපහසුවක් නැතිව එම ස්ථානයට ළඟා වීමට හැකිවිය.

පොලිසිය යද්දී සියල්ල සිදු වී අවසානය. ත්‍රිරෝද රථයේ යකඩ කොටස් හැර අනිත් සියලුම කොටස් අලු බවට පත්වන තුරුම ගිනිගෙන ඉබේම ගින්න නිවී ගොසිනි. ත්‍රිරෝද රථය යට පුද්ගලයකු අඟුරු වී සිටිනු පොලිස් කණ්ඩායමට නිරීක්ෂණය විය.

මෙලෙස පොලිසිය පරීක්ෂණ අරඹද්දී මෙම වගා ඉඩම් කැලෑ ප්‍රදේශය අවට පදිංචි පිරිස් ද ත්‍රිරෝද රථ රියැදුරන් ද විශාල පිරිසක් මෙම ස්ථානයට ඇදී එන්නට විය.

ත්‍රිරෝද රථ වලින් පැමිණ සිටි පිරිස් අඟුරු වී සිටි පුද්ගලයා යම් තරමකට හඳුනාගත්තේය. ඒ.. ඔහුගේ ස්වරූපයෙන් නොව ත්‍රිරෝද රථයේ අංකයෙනි.

“මේ කළු අයියගේ ත්‍රිවිල් එක නේද?

පිරිසක් එලෙස පවසද්දී එම ස්ථානයට දිව ආ මැදිවියේ කාන්තාවක පොළොවේ හැපෙමින් හඬා වැලපෙන්නට වුවාය. ඇය... පොයින්ට් කලුවා ගේ බිරියයි. පිළිස්සී ගිය සිරුරේ ඉතිිරිව තිබු කුඩා ඇඳුම් කැබලි වලින් හා පාදයක ලක්ෂණයකින් මේ කලුවාම බව ඇය හඳුනා ගත්තාය. එලෙසම ත්‍රිරෝද රථයේ අංකය ද ඇය දැන සිටි බැවින් කලුවා මරා ත්‍රිරෝද රථය සමඟම ගිනි තබා ඇති බව ඇයට වැටහෙන්නට ඇත.

කළුවා මරා පුලුස්සා දැමුවේ කවුද? මේ පැනයට පිළිතුරු සෙවු පොලිසියට පුද්ගලයන් කිහිප දෙනකු ගැන සැක සිතීමට ඉඩකඩ තිබිණි. ඒ.. මොහු මනුෂ්‍ය ඝාතනයක සැකකරුවකු මෙන්ම තවත් සිද්ධි වලට සම්බන්ධ අයකු වීම නිසාය.

මොනරාගල අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා ද තණමල්විල වැඩබලන මහේස්ත්‍රාත්වරයා, සොකෝ අංශය ඇතුලු පරීක්ෂණ කණ්ඩායම් එම ස්ථානයට කැඳවීමට පොලිසිය කටයුතු කළේය. අනතුරුව පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සිරුර මොණරාගල රෝහල් මෘත ශරීරාගාරය වෙත යොමු කෙරිණි.

මේ අතර මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් සොයා විමර්ශන ආරම්භ කළ පොලිසියට කලුවාගේ බිිරියගෙන් මෙන්ම ත්‍රිරෝද රථ ගාලේ කිහිප දෙනකුගෙන් ද තොරතුරු රැසක් ලැබිණි.

“මම දවල් එකයි දහයට විතර ත්‍රිවිල් පාර්ක් එකට ගිහින් එයා එක්ක කතා කර කර ඉඳලා ගෙදර ගියේ.”

“කළු අයියා දවල් ත්‍රිවිල් පාර්ක් එකේ හිටියා. පවුලත් ඇවිත් ගියාට පස්සේ තමයි හයර් එකක් ගියේ.”

ත්‍රිරෝද රථ රියැදුරන් එලෙස පැවසු අතර ඒ අනුව පොලිසියේ අදහස වුයේ මොහු ත්‍රිරෝද රථ ගාලෙන් යන්නේ දවල් එකයි දහයට පසුව බවයි.
ඉන් අනතුරුව විමර්ෂණ කණ්ඩායම නගරයේ සවිකර ඇති සි.සි.ටී.වී. කැමරා වල රූගත දර්ශන නිරීක්ෂණය කිරීමට කටයුතු කළේය. එම නිරීක්ෂණයේ මොහු නගරයේ පිහිටි තැබැරූමකට ගොඩවන අයුරුත් ඊට ස්වල්ප වේලාවකට පසු බාගේ බෝතලයක් ද රැගෙන ඉන් පිටව යන අයුරුත් රූගතව තිබිණි.

දිගින් දිගටම කළ සී.සී.ටී.වී කැමරා නිරීක්ෂණයෙන් විමර්ශන කණ්ඩායමට හොඳ පොටක් පැදිණි. ඒ... තැබැරූමෙන් පැමිණීමෙන් පසු මොහු ත්‍රිරෝද රථයෙන් යන අයුරුත් රථය පිටුපස අසුනේ පුද්ගලයකු සිටින අයුරුත් රූගතව තිබීමය.

එහෙත්... ඇතුලේ සිටින පුද්ගලයා කවුරුන්දැයි හරි හැටි පැහැදිලි නැත. එබැවින් ඔහු හඳුනා ගැනීම සඳහා පොලිසිය උපක්‍රමශීලී විය.
“කලු අයියගේ ත්‍රිවිල් එකේ නැගලා ගියේ වසන්ත.”

ලැබුණු එම තොරතුර ඔස්සේ හඹා ගිය පොලිසිය වසන්තගේ නිවෙස සොයා ගියේය. ඒ... සිද්ධිය වු දිනට පසුදින උදේ කාලයේය. පොලිසිය යද්දී වසන්තගේ නිවෙස වටා රෙදි වැල් වල රෙදි වනා තිබිණි. එහෙත්... දොර ජනේල වසා දමා ඇත.

දොර ජනේල වලට තට්ටු කරමින් බැලුව ද නිවෙසෙහි කිසිවකුත් නොපෙන්නට සිටියේ නැත. ඒ අනුව පොලිසියට ලැබුණු තොරතුරත්, එම තොරතුරෙහි නිවැරදි බවත් වටහා ගැනීමට පොලිසියට හැකිවිය.

මේ අතර පොලිසියට තව තවත් තොරතුරු ගලා එන්නට විය. ඒ...මෙම සිද්ධිය වූ දින දහවල් චාමර, දෙකේ චුටි යන දෙදෙනා වසන්තගේ වාඩියේ සිටි බවය. එම තොරතුරට අනුව මේ දෙදෙනා සොයා ගිය ද පොලිසියට දැක ගන්නට ලැබුණේ ඔවුන්ගේ ද ගෙවල් දොරවල් වසා දමා ඇති බවයි. එනම්... ඔවුන් ද දරු පවුල් සමඟ ප්‍රදේශය හැර පලා ගොසිනි.

මේ තිදෙනාගේ අතුරුදන් වීමත් සමඟ මෙම ඝාතනයේ සැකකරුවන් මොවුන් බව වටහා ගන්නට වැඩිදුර කල්පනා කිරීමට පොලිසියට වුවමනා වුයේ නැත.

මේ අතර මිය ගිය කලුවා ගේ දේහය පිළිබඳ පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්ථව ද එළි දැක්විය. එහි සඳහන් වුයේ හිසට එල්ල කළ තියුණු පහරකින් මොහු මිය ගොස් ඇති බවත් පිටෙහි ද කැපුම් තුවාලයක් තිබෙන බවත් මොහු පුලුස්සා ඇත්තේ මරා දැමීමෙන් අනතුරුව බවත්ය.

කලුවා ඝාතනය වී දින තුනක් පමණ ගතවෙද්දී පලාගිය සැකකරුවන් පිළිබඳ පොලිසියට තොරතුරක් ලැබිණි. ඒ.. ඔවුන් තිදෙනා මොනරාගල සිටින නීතිඥයකු මාර්ගයෙන් පොලිසියට බාරවීමට සුදානම් වන බවය.

සිද්ධිය වී ගෙවී ගිය සිව්වන දිනයේ දී වසන්ත, දෙකේ චුටි සහ චාමර නීතිඥයකු සමඟ තණමල්විල පොලිසියට පැමිණියහ.

“අර මර්ඩර් එකට මේ තුන්දෙනාව හොයනවා කියලා දැනගන්න ලැබුණා. මම මෙයාලව බාර කරන්න ආවේ.”

නීතිඥවරයා එලෙස තිදෙනා බාර කිරීමට කටයුතු යොදද්දී මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයා එයට එකඟ වුයේ නැත.

“නෑ.. මේ තුන්දෙනාම මට අවශ්‍ය නෑ. මට අවශ්‍ය මෙයා විතරයි. අනිත් දෙන්නට යන්න පුලුවන්.”

එලෙස රඳවා ගත්තේ වසන්තය. ඔහු ගේ පැටිකිරිය සොයා බැලීමේ දී ඔහු මිනී මැරීමට තැත් කිරීමේ සිද්ධියක වරදකරු වී දැනට අත් සිට වූ සිර දඬුවම් විඳිමින් සිටන බව ද ගංජා කිලෝ හාරසිය දාහතරක් ළග තබාගෙන හසු වී බන්ධනාගාර ගතව සිටි බව ද ඊට අමතරව කලුවා ගේ පැල ගිනි තැබීමේ සිද්ධියට වරදකරු වී දඩ මුදල් ගෙවමින් සිටින බව ද හෙළිවිය.

දින කිහිපයක් තිස්සේ පොලිසිය කළ රහසිගත දීර්ඝ විමර්ෂණයේ දී කලුවා ඝාතනයට මොහු සහභාගී වු අයුරු යම් තරමකට තහවුරු කරගෙන තිබිණි.

එලෙස ගිනිගෙන අලු වූ ත්‍රිරෝද රථය පරීක්ෂා කිරීමේ දී එය ගිනි ගන්නා විට රිවස් ගියරයේ තිබුණ බව ද තහවුරු වී තිබිණි. ඒ ඔස්සේ කළ ප්‍රශ්න කිරීමේදී කළුවාගේ ඝාතනයට තමා සම්බන්ධ වු බව වසන්ත හෙළි කළේය. අනතුරුව ඔහුගේ මඟ පෙන්වීම යටතේ ඝාතන සැලසුම ක්‍රියාත්මක කිරීම සඳහා යොදාගත් යතුරු පැදියක් ද ඒ අවස්ථාවේ දී ඔහු හැඳ සිටි ඇඳුම් ද පොලිසිය සොයාගත්තේය.

අනතුරුව ඊට පසුදින එනම් හතර වැනිදා ඔහු අධිකරණයට ඉදිරිපත් කොට පැය හතලිස් අටක රඳවා තබා ගැනීමේ නියෝග ලබා ගැනීමට ද මුලස්ථාන පොලිස් පරීක්ෂක වරයා කටයුතු කළේය.

“හරි... දැන් කියමු බලන්න මුල ඉඳලා කොහොම මේක කළේ කියලා.”

“සර්...මේකට මමත් ගියා තමයි. ඒත්... කලුවව මැරුවේ මම නෙවෙයි. දෙකේ චුට්ටයි චාමරයි.”

මොහුගේ කට උත්තරයට අනුව පොලිසිය දෙකේ චුටි සහ චාමර සොයා මෙහෙයුම් දියත් කළ අතර එදා නීතිඥයා සමඟ පොලිසියට ගිය අවස්ථාවේ දී මුදා හැරිය බැවින් තමන් මෙම ඝාතනයට හසු නොවන බව සිතා මේ දෙදෙනා සිය වගා බිම් වල වාඩි වලට වී එදිනෙදා වැඩකටයුතු වල නිරත වෙමින් සිටියහ. පොලිසිය ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත්තේ වාඩි වල සිටියදීය.

පොලිසියට කැඳවාගෙන විත් ප්‍රශ්න කිරීමේ දී කලුවා ඝාතනයේ සියලු තොරතුරු අකුරක් නෑර ඔවුන් පාපොච්චාරණය කළේය. එම තොරතුරු වලට අනුව වසන්ත කලුවා සමඟ මිතුරු වන්නේ සැලසුම් සහගතවය. ඒ... අමනාපයෙන් සිටිය හොත් පළිගැනීම අපහසු බැවින් හිතවත් වී පසුව වැඩේ දීමට සිතාගෙනය.

“මම කලුවා එක්ක ටිකෙන් ටික යාලු වුණා. ඒත්.... ඒ මිනිහට වැඩක් දෙන්න හිතාගෙන බව මිනිහට තේරුනේ නෑ. ඔහොම ටික දවසක් යද්දී අපි දෙන්නා එකට අඩි ගහන තත්ත්වයට ම පත්වුණා. හැබැයි... මම කෝල් කරලා අහවල් තැනට එන්න කිව්වට මිනිහා එන්නේ නෑ. ඒ වුණාට මම ගිහින් කතා කළොත් මිනිහා එනවා.”

“එදා... විසිහත් වෙනිදා උදේ දෙකේ චුටියි චාමරයි මගේ වාඩියට ආවා. අපි තුන්දෙනා අඩියක් ගගහ කතා කරද්දී අද කළුවා මරමු කියලා අපිට අදහසක් ආවා. ඒක කරන්නේ කොහොමද කියලා අපි කතා වුණා. චාමර කතා කළාට කලුවා එන්නේ නෑ. මම කතා කළොත් එනවා. ඒක නිසා මම මගේ බයික් එකෙන් ටවුමට ගිහින් බයික් එක ටවුමේ තැනක නතර කරලා කලුවා හම්බවෙන්න පයින් ගියා.”

“වැඩකට ටවුමට ආවා වගේ මම කලුවා හම්බවෙන්න ගියා. මාව වාඩියට ගිහින් දාපං. අපි ගිහින් ඩ්‍රින්ක් එකකුත් ගහමු කියලා කිව්වා. කලුවා ඒකට කැමති වුණා. උඹ එහෙනම් බාගයක් අරගෙන වරෙං කියලා මම කලුවට සල්ලි දීලා මිනිහගේ ත්‍රිවිල් එකේ පිටිපස්සේ ඉඳගෙන හිටියා.”
“ඒ අතරේ මම අර දෙන්නට කිව්වා තව ටිකකින් කලුවා එක්ක එනවා කියලා. ඊට ටික වෙලාවකට පස්සේ කලුවා බාගයක් අරගෙන ආවා. අපි ත්‍රිවිල් එකේ මගේ වාඩියට යන්න පිටත් වුණා.”

“අපි යද්දී වාඩියට මෙහා සියඹලා ගහ යට චාමරයි. චුටි යි හිටියා. චාමර ගේ අතේ කැත්තක් තිබුණා. චුටි අතේ පිහියක් තිබුණා. ත්‍රිවිල් එක ඒ හරියට කිට්ටු වෙද්දී මම කලුවගේ කොලර් එකෙන් ඇදලා ත්‍රිවිල් එක නවත්තපං කියලා කිව්වා. ඒත්... කලුවා මගේ අත අරවගෙන ත්‍රිවිල් එකෙන් පැන්නා. ඒ එක්කම චාමර පාරක් ගැහුවා. එක වැදුණේ ත්‍රිවිල් එකට. කලුවා පැනලා දිව්වා.”

මේ තිදෙනාගේ පාපොච්චාරණයට අනුව ත්‍රිරෝද රථයෙන් එළියට පැනගත් කලුවා ඉදිරියට දිව යන්නට විය. තිදෙනාම ඔහු පසුපසින් පන්නගන්නට වු අතර වසන්ත අතේ ඒ අවස්ථාවේ අවි ආයුධ කිසිවක් තිබුණේ නැත. මේ තිදෙනාගෙන් තරුණම පුද්ගලයා චාමරය.

එබැවින්... මුලින්ම කලුවාට ළං වන්නේ තරුණ ජවය ඇති චාමරය. ඔහු දිවයන කලුවාට කැති පහරක් එල්ල කරන අතර එය කලුවා ගේ පිටට වැදි කලුවා උඩුබැලි අතට බිම වැටෙන අතර ඒ අසලට පැමිණි “දෙකේ චුටි” සිය අත වු පිහියෙන් කලුවාගේ හිසට වැරෙන් පහරක් එල්ල කළේය.

එම පහරින් කලුවා නිසොල්මන් වන අතර චාමර ආපසු හැරී දිව යන්නට විය. ඒ කලුවාගේ ත්‍රිරෝද රථය නතර කළ ස්ථානයටය. එලෙස ගිය චාමර ත්‍රිරෝද රථය පදවාගෙන කලුවා මියගොස් සිටි ස්ථානයට පැමිණියේය. අනතුරුව රථය කලුවා ගේ සිරුර යටවන ලෙස නතර කළ අතර සිරුර හරියටම රථය මැදට වී නොතිබිණි. එබැවින් ත්‍රිරෝද රථය රිවස් කළ චාමර කලුවාගේ සිරුර එහි යටට සිටින ලෙස නවත්වා ඉන් බැස ගත්තේය.

“ඊට පස්සේ අපි ත්‍රිවිල් එකේ පියන ඇරලා පැට්‍රෝල් බටෙන් පැට්‍රෝල් දාලා ත්‍රිවිල් එක ගිනි තිව්වා. ත්‍රිවිල් එක ගිනි ගනිද්දී මමයි. චුටි බාප්පයි බයික් එකේ නැගලා යන්න ගියා. ඒ යද්දී කලුවට ගහපු පිහියයි කැත්තයි අපි අරගෙන ගියේ. පාර අයිනේ තිබුණ පාලු ළිඳකට කැත්තයි පිහියයි දාලා අපි ගෙවල් වලට ගියා.”

ඔහු පැවසු තොරුතුරු වලට අනුව කලුවා ඝාතනය සඳහා උපයෝගී කරගත් පිහිය සහ කැත්ත ඔහු පෙන්වු ළිඳේ තිබී මොනරාගල සොකෝ අංශය විසින් සොයාගනු ලැබීය. කලුවා ඝාතනය කරන අවස්ථාවේ චුටි හැඳ සිටි සරම ද සොයාගත් අතර එහි වූ ලේ පැල්ලම් රජයේ රස පරීක්ෂක වෙත යොමු කොට ඇත. එලෙසම ඝාතනයෙන් පසු මේ දෙදෙනා ගිය යතුරු පැදිය ද පොලිසිය සොයා ගත්තේය.

කළුවා ඝාතනය පිළිබඳ පොලිසිය පැවැත් වූ පරීක්ෂණ විධිමත් බවත් එබැවින් සිය පුතුන් දෙදෙනා නිසොල්මන්ව සිටි බවත් කලුවා ගේ බිරිය පොලිසියට ස්තූති කරමින් පවසා ඇත.

කලුවාගේ තරුණ පුතුන් දෙදෙනා ද මනුෂ්‍ය ඝාතනයක දෙවන හා තෙවන සැකකරුවන්ය. ඒ දෙකේ ගම්බාරේ ඝාතන සිද්ධියේය. එහි පළමු සැකකරු වුයේ කලුවාය. එනම් කලුවා එම පුද්ගලයා මරා දමා තිබුණේ සිය එකම දරුවන් දෙදෙනා ද එකතු කරගෙනය. ඒ අනුව කලුවා කුමන වර්ගයේ පියෙක් ද යන්න කාට වුව වැටහෙනවා ඇත.

දෙකේ ගම්බාරේ ඝාතන නඩුව මෙම මස අට වැනිදාට කැඳවීමට නියමිතව තිබිණි. එදින විත්ත කුඩුවට නගින්නට කලුවා ජීවතුන් අතර සිටියේ නැත. දෙවන හා තෙවන විත්ති කරුවන් වන ඔහුගේ පුතුන් දෙදෙනා පමණක් එදින විත්ති කුඩුවේ සිටිනු දක්නට ලැබිණි.

දෙකේ ගම්බාරේ ඝාතන නඩුව විභාග වීමෙන් අනතුරුව මේ පුතුන් දෙදෙනාට දඬුවම් නියම ඔහු ඒකාන්විතය. එහෙත්... දෙකේ ගම්බාරේ ගේ පවුල් වල අය සහ කලුවාගේ පවුල් වල අය දෙස බලද්දී නඩු විභාගය අවසන් වන විට කුමකින් කුමක් සිදු වී තිබේ දැයි යන්න අවිනිශ්චිතය. ඒ... මොවුන් ලෙයට ලෙයින් පළිගන්නා පිරිසක් බව මේ ක්‍රියාදාමයෙන් ඔප්පු වී ඇති නිසාය.

ඌව පළාත බාර නියෝජ්‍ය පොලිස්පති අරුණ ප්‍රේමශාන්ත, මොනරාගල පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල, සහකාර පොලිස් අධිකාරී ඩී.යු.පී.අමරතුංග යන නිලධාරීන්ගේ උපදෙස් මත තණමල්විල මුලස්ථාන පොලිස් පරීක්ෂක චින්තක පනාවල, අපරාධ අංශයේ ස්ථානාධිපති බන්දුල ඇතුලු කණ්ඩායමක් පරීක්ෂණ සඳහා එක්විය.

-තක්ෂිලා ජයසේකර-
Make a Comment
Make a Comment..

Share
Share to Facebook Share to Facebook Share to Facebook Share to Facebook

Follow Us
facebook
twitter
youtube
32ins
32ins

මෙන්න බලන්න තවත් ගොසිප්








Recent Gossip Post



akurata yana welawe
Follow Us

facebook
twitter
youtube
32ins
32ins



Dura Penena Thanithala - Senior Choir Gateway College Colombo
Dura Penena Thanithala
Senior Choir Gateway College Colombo
⤵  306 Downloads

Hiru Shraddhabhi Wandana Theme Song 2020 - Yaham Hettiarachchi
Hiru Shraddhabhi Wandana Theme Song 2020
Yaham Hettiarachchi
⤵  835 Downloads

Dawasak Thiyewi - Rana with AURA
Dawasak Thiyewi
Rana with AURA
⤵  586 Downloads

Lowama Ekalu Kala Deshayak - Fredy Alex Silva
Lowama Ekalu Kala Deshayak
Fredy Alex Silva
⤵  1,501 Downloads

Gedarata Wela Inna - Seeduwwa Sakura
Gedarata Wela Inna
Seeduwwa Sakura
⤵  1,309 Downloads

Hemin Sare Aa Sulangak  - Sanka Dineth
Hemin Sare Aa Sulangak
Sanka Dineth
⤵  2,116 Downloads

Mahapolovata Nivaduwak - Warsha Vihangi Samaranayaka
Mahapolovata Nivaduwak
Warsha Vihangi Samaranayaka
⤵  7,795 Downloads

Guru Geethaya - Bhanuka G Senarath
Guru Geethaya
Bhanuka G Senarath
⤵  4,106 Downloads

Thanikada Ahase - Bhanuka G Senarath
Thanikada Ahase
Bhanuka G Senarath
⤵  1,954 Downloads

Awasan Haduwa - Pawan Minon
Awasan Haduwa
Pawan Minon
⤵  38,065 Downloads



Copyright © Lotus Technologies (Private) Limited. All Rights Reserved.
Top