අසූව දශකයේ දී බොලිවුඩ් සිනමාවට පැමිණ එක රැයකින් ජනප්‍රිය වූ දිව්‍යා භාරතී හින්දි සිනමා තරුවකි. 1993 දී ඇය මියගියේ තට්ටු නිවාසයක පස්වැනි මහලින් ඇද වැටීමෙනි. ඇගේ මරණය සිය දිවි නසා ගැනීමක් ද නැතහොත් කවුරුන් හෝ ඇය තල්ලු කළ නිසා සිදුවූවක් ද යන්න අදටත් අබිරහසකි.
මරණයට පත්වන විට ඇගේ වත දැවටී තිබුණේ මංගල වස්ත්රාභරණයෙනි. මනාලියක ලෙසින් සැරසුණු මේ සුරූපිනිය මංගල පෝරුව මතට ගොඩවදිණු වෙනුවට රැගෙන යනු ලැබුයේ සොහොන් බිම කරාය. සඳුන් දැවයෙන් තැනුණු දර සෑය ගිනිදලු වලින් වෙළී යෑමට ගතවුයේ නිමේශයකි. ඒ 1993 වසරේ අප්‍රේල් මස 07 වැනිදාය.
රැස්ව සිටි මුම්බායි වැසියන් ගේ සෝ සුසුම් වා තලයට මුසු කෙරෙද්දී දිව්‍යා භාරතී නම් වූ ඒ බොලිවුඩ් සුරූපීනිය සිය කෙටි දිවි මංතලාව පියමං කළාය.
මීට වසර විසි පහකට පමණ පෙරදී එසේ අවසන් ගමන් ගිය දිව්‍යා භාරතී ගේ මරණය අදටත් අබිරහසකි. ඉතා කෙටි කලෙකින් බොලිවුඩ් සිනමාවේ ජය මංපෙත් කරා පියමං කළ මේ ළාබාල නිළිය ඒ වනවිටත් ප්‍රේක්ෂක හදවත් ඇද බැඳ තබා ගැනීමට තරම් සමත්ව සිටියාය. ලෝකය විද්‍යාව හා තාක්ෂණය අතින් කෙතරම් දියුණුවට පත්වුව ද අපරාධ පර්යේෂණ ක්ෂේත්රයේ හිණිපෙත්තට නැග සිටියද මේ සුරූපී භාරත නිළියගේ මරණය තවමත් ලොවට අබිරහසකි. ඇය සියදිවි නසා ගත්තා ද නොඑසේ නම් ඇගේ මරණය මිනීමැරුමක් ද එසේත් නැත්තම් අහඹු සිදුවීමක් ද යන්න ඇගේ මරණයෙන් වසර පහළොවකට පසුව ද තවමත් නොවිසඳුණු ප්‍රශ්නයක් ව ඇත්තේය.
සිය පළමු චිත්‍රපටයෙන්ම බොලිවුඩ් සිනමාවේ තාරකාවක් බවට පත් වූ දිව්‍යා භාරතී කෙටි කලකින්ම බොලිවුඩ් සිනමාවේ වැජඹෙන්නට තරම් කුසලතා පෙන්වූවාය. ඒ වන විටත් ඇය වෙනුවෙන් පෙළ ගැස් වී තිබුණු චිත්‍රපට සංඛ්‍යාව 14 කි. එකල ඇගේ වියේ සිටි තරුණ නවක නිළියන් සියල්ලන්ම අතරින් ඒ වරම ලැබී තිබුණේ දිව්‍යා භාරතීට පමණි.
1974 පෙබරවාරි මස 25 වැනි දින උපත ලද දිව්‍යා භාරතීගේ මව මීනා ය. පියා ඕම් ප්‍රකාශ් භාරතීය. දිව්‍යාට බොලිවුඩ් සිනමාවේ තැනක් ලැබෙද්දී ඇය සිටියේ සිනමාවේ අංක 8 තරුව ලෙසය. දිව්‍යා මුලින්ම සිනමාවට එක්වුයේ 1988 දී ය. ඒ වන විට ඇගේ වයස අවුරුදු 14 කි. ඒ සිනමා අධ්යක්ෂ කීර්ති කුමාර් ගේ චිත්‍රපටියකිනි.
බොලිවුඩ් සිනමා ලෝකයේ ඇය හැඳින්වුයේ කැපවීමෙන් වැඩකරන නිළියක ලෙසය. එහෙත් කෝපයට පත් වූ විගස ඇය කුපිත වන බව ඇය ළඟින් ඇසුරු කළ බොහෝ දෙනා දැන සිටියහ . හිතහොඳ නිළියක වූ දිව්‍යා මුදල් පසුපස හඹා නොගියාය. වරක් ඇය ජනප්‍රිය නිළියක වූ කරිෂ්මා විසින් ප්‍රතික්ෂේප කරනු ලැබු චරිතයකට තෝරා ගනු ලැබිණ. ඒ අවස්ථාවේ දී ඇය පවසා තිබුණේ එම චරිතය සඳහා සිනමා නිළි කරිෂ්මාට මැසු සියලුම ඇඳුම් ඇඳීමට තීරණය කළාය. අනිසි ලෙස මුදල් වියදම් කිරීමට ඇය අකමැත්තක් දැක්වුවාය. අත්‍යවශ්‍ය වියහියදම් ප්‍රතික්ෂේප කළ ද ඇය මුදල් පසුපස හඹා නොගිය නිළියකි. ඇය සිනමාවට එක්කරගත් අධ්‍යක්ෂකවරයාට ඔහුගේ චිත්‍රපටවල රඟපෑම සඳහා මිලක් නියම කිරීම ද ඇය නොකළාය.
චිත්‍රපට අධ්යක්ෂ සජීඩ් තඩිඅඩ්වාලි සමඟ 1992 වසරේ විවාහ වූ දිව්‍යා සිය විවාහ ජීවිතය රහසක්ව තබා ගත්තාය. ඒ සිය සිනමා ගමනේ අභීවෘද්ධිය වෙනුවෙනි.
දහනවවැනි වියේදී ඇය මිය ගියේ සිය සැමියා සමඟ ජීවත් වූ මහල් නිවාසයේ 5 වැනි මහලෙන් බිමට ඇද වැටීමෙනි. ඒ වන විට ඇය මත් ගතියකින් සිටි බව ද ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබිණි.