පසුගිය පළාත් පාලන මැතිවරණයෙදී ජනතා විමුක්ති පෙරමුණ ලබාගත් මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 7කට ආසන්නයි. එය සමස්ත ඡන්ද ප්‍රමාණයෙන් ප්‍රතිශතයක් ලෙස 6.3% ක්. එම පක්ෂය මෙවර නව මැතිවරණ ක්‍රමය යටතේ මන්ත්‍රීධූර 432ක් දිනා ගැනීමට සමත් සමත් වුණා.
පානදුර නගර සභාව සඳහා ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරමින් වෑකඩ උතුර ඡන්ද කොට්ඨාසය සඳහා තරඟ කළ එම්. පියසේන ප්‍රනාන්දු මහතා එම කොට්ඨාසය ජයග්‍රහණය කරමින්, කොට්ඨාස ජයග්‍රහණයක් ලද එකම ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රීවරයා බවට පත් වෙනවා.
ක්‍රියාකාරී දේශපාලනයේදී සමාජවාදී ධාරාව සිය දේශපාලන මතවාදය බවට පත් කර ගත් ඒ මහතා, සිය දේශපාලන ආගමනයේ සිට මෙවර ජයග්‍රහණය දක්වා ගමන්මඟ පිළිබඳ මෙසේ පුවත්පතක් සමග කතා කර තිබුණා.
'1956 අප්‍රේල් මාසේ 5 වෙනිදා තමා මට මුලින්ම දේශපාලනය ගැන අදහසක් ආවේ. ඒ වෙනකොට මම පාසල් යනවා. ලංකා සම සමාජ පක්ෂයේ ආරම්භකයෙක් වුණ ලෙස්ලි ගුණවර්ධන 1956දී පානදුර ආසනය නියෝජනය කරලා පාර්ලිමේන්තුවට තරඟ කළා. මේ වෙලාවේ ඔහුව පිළිගනිමින් තමා මම දේශපාලනයට ආරම්භයක් ගත්තේ.'
1935දී ඇරඹි ලංකා සම සමාජ පක්ෂය ජාතික නිදහස් ව්‍යාපාරය තුළ සිටි දැවැන්ත චරිත ගණනාවක නවතැන විය. 1956 වන විට එම පක්ෂය ශ්‍රී ලාංකීය දේශපාලනය තුළ තීරණාත්මක දේශපාලන මෙහෙවරක් ඉටු කරමින් සිටි පක්ෂයක් බවත් පත්ව තිබීම පියසේන ප්‍රනාන්දු මහතාගේ ආකර්ෂණයත් සම සමාජ ව්‍යපාරය දෙසට නැඹුරු වීමට හේතු වූවා නිසැකය.
'ඊට පස්සේ දිගටම ලෙස්ලි ගුණවර්ධනත් එක්ක කොමියුනිස්ට් ව්‍යාපාරයේ මම වැඩ කළා. 1970දි ප්‍රවාහන ඇමති බවට පත් වුනාට මම කොට්ඨාස ලේකම් විදිහට කටයුතු කළා.'
එතකොට ඔබ මොන කාලෙද ජනතා විමුක්ති පෙරමුණත් එක්ක සම්බන්ධ වෙන්නේ?
'2003 අවුරුද්දෙදි මම ලංකා සම සමාජ පක්ෂයෙන් ඈත් වෙලා ජනතා විමුක්ති පෙරමුණට සම්බණ්ධ වුණා. ඒ වෙලාවේ ජනතා විමුක්ති පෙරමුණ නියෝජනය කරපු පානදුර නගර සභාවේ මන්ත්‍රීවරයෙක් හිටියා උදිත සමරක්කොඩි කියලා. ඔහු මාර්ගයෙන් තමයි මම පක්ෂයට එකතු වෙන්නේ. මම පානදුර නගර සභාවේ මන්ත්‍රීවරයෙක් විදිහට කටයුතු කරන්නේ 2006 ඉඳලා. ඒ අවුරුද්දෙත් උදිත සමරක්කොඩි සහ මම තමා පක්ෂය නියෝජනය කරලා නගර සභාවට පත් වෙන්නේ. පස්සේ උදිත පක්ෂයෙන් ඈත් වුණා.'
ඒ ඔහුගේ ජනතා විමුක්ති පෙරමුණු ආගමනයයි.
1943දී උපන් පියසේන ප්‍රනාන්දු කුඩා කල පටන් සමාජ සේවය සහ සමානාත්මතාවයට ඇලුම් කළ අයෙකි. ඔහු මෙවර මැතිවරණයට ඉදිරිපත් වන තුරුම වෑකඩ මධ්‍යම සණස සමිතියේ සභාපතිධූරයේ සහ භාණ්ඩාගාරිකධූරයේ වරින් වර කටයුතු කර තිබේ. පානදුර ශ්‍රී සුමංගල විද්‍යාලයේ සංවර්ධන කටයුතුවලදි, ප්‍රදේශයේ ශ්‍රමදාන ආදී වූ පොදු කටයුතුවලදී පියසේන ප්‍රනාන්දු මහත්මා ආගන්තුක චරිතයක් නොවේ.
විශේෂයෙන් චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය බස්නාහිර පළාත් සභාවේ මහ ඇමතිවරිය ලෙස කටයුතු කරන සමයේ නගර සභාවට අයත් ඉඩම් දෙකක අනවසරයෙන් පදිංචිව සිටින පවුල් 70ක පිරිසට නීත්‍යානුකූල අයිතිය ලබා දීම සහ පානදුර නගර සභා සීමාව තුළ කාණු පද්දතිය පිරිසිඳු කිරිමේ කටයුතු ක්‍රමවත්ව සිදු කිරීම සඳහා තම ප්‍රමුඛත්වය ලැබෙන බව ප්‍රනාන්දු මහතා පැවසීය.
මෙවර මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සංධානය ඡන්ද 3260 ලබාගෙන අතිරේක ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 5ක් ලබා ගනිද්දි ඡන්ද 3252ක් ලබා ගත් ජනතා විමුක්ති පෙරමුණට එම ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර 3ක් පමණක් ලැබීම ගැන තමන් විමතියට පත්ව සිටින බවද පියසේන ප්‍රනාන්දු මහත්මා පැවසීය.
මංජුල සමරසේකර