යාපනයෙන් මේ දිනවල දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානය වෙත විශාල වශයෙන් එළවළු තොග ලැබීමත් සමග දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ එළවළු තොග මිල පහත වැටී තිබෙනවා.
අළුයම් කාලය පමණ වන විට යාපනයේ සිට දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු පැටවූ ලොරි රථ තිහක් තිස්පහක් අතර ප්‍රමාණයක් මේ දිනවල දිනපතා ලැබෙමින් පවතින බවත් වාර්තාවනවා. එමෙන්ම අනෙකුත් ප්‍රදේශ වලින්ද දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට එළවළු තොග විශාල වශයෙන් ලැබෙමින් පවතිනවා.
ඇතැම් එළවළු තොග අලෙවි නොවීම නිසා ඉවත් කිරීමට සිදුව ඇති බව ද මේ දිනවල එසේ ඉවත් කරන දසුන්ද දැකගැනීමට හැකිවුණු බවයි අප වාර්තාකරු පැවසුවේ.
යාපනයෙන් කැරට් ,ලීස් ,ගෝවා , අර්තාපල් , අමු මිරිස් ,බීට් , වට්ටක්කා ,මෑ කරල්, දෙහි, ලූනු මල්, රතු ලූනු, වැටකොළු, මාලු මිරිස්, වම්බටු ආදී එළවළු වර්ග රැසක් මේ දිනවල දඹුල්ල වෙළෙඳ පොළට ලැබෙමින් පවතිනවා.
පසුගිය සතියේ දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ විශාල වශයෙන් ඉහළ ගොස් තිබූ එළවළු සියල්ල තොග මිල මේ වන විට විශාල වශයෙන් පහත වැටී තිබීම විශේෂත්වයක් මෙන්ම වම්බටු ,බිට් , මෑ කරල් කිලෝවක තොග මිල රුපියල් දහයේ සිට 35 දක්වා වූ මිලකට අලෙවි වීම විශේෂත්වයක් බවයි පැවසෙන්නේ.
අමුමිරිස් ,ගෝවා, කැරට් ,කිලෝවක තොග මිල ද රුපියල් 25 සිට 40 දක්වා වූ මිලකට අලෙවි වන බව ව්‍යාපාරිකයෝ පවසනවා.
සමස්තයක් ලෙස සියලුම එළවළු වර්ග කිලෝවක තොග මිල රුපියල් දහයේ සිට රුපියල් 50 දක්වා වූ උපරිම මිලකට අලෙවි වීමද විශේෂත්වයක්.
යාපනයෙන් ලැබෙන අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 40 සිට 45 දක්වා වූ මිලකට අලෙවි වන බව ඔවුන් පවසනවා.
පසුගිය වසරවලට වඩා මෙවර යාපනය අර්ධද්වීපයේ එළවළු අස්වැන්න ඉතාමත් සාර්ථකව පවතින බව ගොවීන් පවසනවා.
එහෙත් තම නිෂ්පාදන වලට මිලක් නොමැති වීම නිසා ගොවීන් දැඩි අසීරුතාවයකට පත්ව සිටිනවා.
තොග මිල විශාල වශයෙන් පහත වැටී තිබුණ ද රට පුරා එළවළු සිල්ලර මිලහි කිසිඳු වෙනසක් මේ වන තෙක් නොමැති වීම විශේෂත්වයක්.