බංගලාදේශ තරඟාවලිය ආරම්භයට පෙර ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පිතිකරුවකු සහ වර්තමානයේ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙස කටයුතු කරන සංජේ මන්ජේකාර් විසින් පුවත්පතකට තීරු ලිපියක් සපයමින් තර්ක කර තිබුණේ වමතින් දඟපන්දු යවන ක්‍රීඩක රංගන හේරත් ක්‍රීඩාවේ විශිෂ්ටයෙකු නොවන බවයි.
ඔහු පවසන්නේ ඉලක්කම් වලින් විශිෂ්ටත්වය නිරුපනය නොවන බවයි.
මන්ජෙකාර්ගේ මේ අදහසට දසතින් විවේචන එල්ල වෙමින් පවතිනවා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ටෙස්ට් තරග 37කට ක්‍රීඩා කර ඇති මන්ජේකාර් පවසන්නේ රංගන හේරත්ගේ පන්දු යැවීමේ දත්ත ඉන්දියාවේ ක්‍රීඩා කරද්දී ඉහළ මට්ටමක නොපැවති බවයි.
නමුත් ඔහුගේ අදහසට දැඩි විවේචන එල්ල කරන ක්‍රීඩා විචාරකයින් පේනවා දෙන්නේ රංගනගේ සමස්ත දත්ත අධ්‍යනයක් සිදු කළේ නම් මන්ජේකාර් හට වඩාත් හොඳ නිගමනයක් කරා පැමිණීමට ඉඩ තිබුණි.
බොහෝ විදෙස් දඟපන්දු යවන්නන් ඉන්දීය තණ තීරුවල දී සුපුරුදු දස්කම් අතරට පැමිණෙන්නට අපොහොසත් වෙති. උදාහරණ ලෙස ගත හොත් මුත්තයියා මුරලිදරන් ඉන්දියාවේ දී කඩුල්ලක් දවා ගැනීම සඳහා ලකුණු 45ක් ද, ෂේන් වෝන් කඩුල්ලක් සඳහා ලකුණු 43ක් ද වැය කර තිබේ.
එමගින් කියා පාන්නේ යමෙක් ඉන්දියාවේ දී අසාර්ථක වීම හේතුවෙන් පමණක් ඔහු විශිෂ්ට ක්‍රීඩකයෙකු නොවේ යැයි පැවසීම නිරවද්‍ය නොවන බවයි. තවත් සරලව කිවහොත් විරාත් කෝලි එංගලන්තයේ දී ශතකයක් වාර්තා කර නොමැති බැවින් ඔහු අසාර්ථක පිතිකරුවෙකි යැයි කීම විහිළුවක් වන්නා සේ ම ය.
රංගන හේරත්, ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් මිල කළ නොහැකි සේවාවන් ඉටු කර ඇත්තේ වරක් දෙවරක් නොවේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ඉතිහාසයේ අද වන තෙක් දකුණු අප්‍රිකා බිමේ ලද එකම ටෙස්ට් ජයග්‍රහණයේ දී, කුමාර් සංගක්කාර සහ තිලාන් සමරවීර අගනා ශතක වාර්තා කරන්නට සහ සිය මංගල ටෙස්ට් තරගය වූ එහි ඉනිම දෙකේ දී ම අර්ධ ශතක වාර්තා කරන්නට දිනේෂ් චන්දිමාල් සමත් වුව ද, පන්දුවෙන් දැක්වූ අති විශිෂ්ට දස්කම් හමුවේ තරගයේ වීරයා සම්මානයෙන් පවා පිදුම් ලැබුවේ රංගන හේරත් ය.
හේරත් පන්දුව විශාල වශයෙන් දඟ කැවීමට ලක් කරන ක්‍රීඩකයෙක් නොවන බවයි මන්ජෙකාර් පේනවා දෙන්නේ.