එක්සත් ජාතික පක්ෂය හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්ව පවත්වාගෙන යන ජාතික ආණ්ඩුව ඉදිරියට පවත්වාගෙන යාමට නම් අගමැති රනිල් වික්‍රමසිංහ එම තනතුරෙන් ඉවත් කළ යුතු බවට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට යෝජනා කර තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහගේ ආර්ථික වැඩපිළිවෙල හා බැඳුම්කර චෝදනාව ආණ්ඩුවේ පළාත් පාලන මැතිවරණ පරාජයට හේතු වූ බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඇමතිවරුන් ඊයේ (11) ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් හා ජනාධිපතිවරයා අතර පැවති සාකච්ඡාවේදී පවසා තිබේ.
ආණ්ඩුව ජාතික ආණ්ඩුවක් ලෙස ඉදිරියට යාමට නම් එක්සත් ජාතික පක්ෂයේ වෙනත් නායකයෙකු අගමැති තනතුරට පත් කළ යුතු යයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරුන් එහිදී ජනාධිපතිවරයාට පැවසූ බව එම සාකච්ඡාවට එක්වූ ඇමතිවරයෙක් පැවසීය.
ජනාධිපතිවරයා ආණ්ඩුවේ වෙනස්කම් ඉදිරියේ සිදුකරනු ඇතැයි සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය ඉදිරියට පැමිණි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇමතිවරු සඳහන් කළහ.
මේ අතර අගමැතිවරයා සහ එජාප ඇමතිවරු අතර හමුවක් ඊයේ සවස පැවැත්විය
එහිදී තීරණය වී ඇත්තේ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් කරන ඉල්ලීම් අනුව අගමැති ධුරය හෝ එක්සත් ජාතික පක්ෂ ඇමතිකම් වෙනස් කිරීමට යෝජනා කළහොත් එක්සත් ජාතික පක්ෂය තනි ආණ්ඩුවක් පිහිටුවිය යුතු යයි බවයි.
මැතිවරණ ප්‍රථිපලය සමග එජාපයේ නායකත්ව අර්බුදයක් මතුවී ඇති අතර අගමැති රනිල් වික්‍රමසිංහ නායකත්වයෙන් ඉවත්ව සජිත් ප්‍රේමදාසට හෝ කරු ජයසූරියට නායකත්වය ලබාදිය යුතු බවට ඉල්ලීම් මතුවෙමින් පවතී.
විශේෂයෙන්ම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකඩ වී මැතිවරණයට ඉදිරිපත් වී ඇති අවස්ථාවක ආණ්ඩු බලයත් තිබී එක්සත් ජාතික පක්ෂය ලබාගත් ප්‍රතිඵලය ගැන කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බව එම පිරිසේ මතය වී තිබේ.
ඉදිරි මැතිවරණ ජයගැනීමට නම් පක්ෂයට නව නායකයෙක් අවශ්‍ය බව ඔවුන් පෙන්වා දී තිබෙන අතර, පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර එවැනි සංවාදයක් මතු වී තිබෙන බව එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙක් තහවුරු කළේය.