තමන් ඉගෙනගන්නා පාසලේම ගුරුවරියකට දුරකථනයෙන් අමතා අයුතු යෝජනා සිදුකළ 17 හැවිරිදි පාසල් සිසුවෙකු මොණරාගල - බඩල්කුඹුර ප්‍රදේශයේදී පොලීසිය ඊයේ (30) අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, එම ගුරුවරිය සිදුකළ පැමිණිල්ලකට අනුවයි.
මෙම සිසුවා තම ජංගම දුරකථනයට දින කිහිපයක් පුරා ඇමතුම් ලබාදෙමින් ලිංගික බලපෑම් එල්ල කළ බවට 34 හැවිරිදි අදාළ ගුරුවරිය පොලීසියට ප්‍රකාශ කර තිබුණා.
ඊට පෙර මෙම දුරකථන ඇමතුම් සම්බන්ධයෙන් විදුහලේ විදුහල්පතිවරයාද දැනුවත් කළ බවයි අදාල ගුරුවරිය සඳහන් කර ඇත්තේ.
බඩල්කුඹුර පොලීසියේ ජ්‍යෙෂ්ඨ ප්‍රකාශකයෙකු සඳහන් කළේ ගුරුවරියට ලැබුණු දුරකථන ඇමතුම් පිළිබඳව දින කිහිපයක් පුරා පරීක්ෂණ ක්‍රියාත්මක කළ බවයි. පසුව නිවැරදිව අනන්‍යතාව තහවුරු කරගැනීමෙන් අනතුරුව එම ගුරුවරිය උගන්වන පාසලේම 12 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන මෙම පාසල් සිසුවා අත්අඩංගුවට ගෙන තිබෙනවා.