අසනීප තත්ත්වයකින් පසුවන දරුවෙකු සඳහා ශාන්තිකර්මයක් සිදුකිරීමට පැමිණි කට්ටඩියෙකු අදාළ නිවසේ තිබූ රුපියල් තුන්ලක්ෂ 70,000ක් පමණ වටිනා රන් භාණ්ඩ සොරාගෙන යාමේ පුවතක් එප්පාවල - මීගස්සෑගම - ගම්මාන අංක 407 ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පසුගිය වසරේ සැප්තැම්බර් මස 2 වන දා මෙම ශාන්තිකර්මය සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් අදාළ දරුවාගේ පියා විසින් ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බවයි එප්පාවල පොලීසිය සඳහන් කළේ.
අදාළ කට්ටඩියා මල් ආසනයක් සකස් කර සියලු රන් භාණ්ඩ අසුරනයක බහා මල් ආසනය යට තබන ලෙස නිවැසියන්ට දැනුම් දී තිබෙනවා.
ඒ අනුව මාල දෙකක් ඇතුළු රන් භාණ්ඩ තොගය නිවැසියන් විසින් මල් ආසනය යට තබා ඇති අතර, කට්ටඩියා ඒවා සූක්ෂම ලෙස ලබාගෙන අදාළ අසුරණය යළි නිවැසියන්ට ලබාදී ඇත්තේ දින 21ක් ගත වන තුරු එය විවෘත නොකරන ලෙස දන්වමින්.
ඒ අනුව අදාළ කාලය ඉක්ම වූ පසු ඒවා විවෘත කිරීමේදී රන් භාණ්ඩ නොතිබීම හේතුවෙන් නිවැසියන් ඒ සම්බන්ධයෙන් කට්ටඩියාගෙන් විමසා ඇති නමුත් ඔහු පැහැදිලි පිළිතුරක් ලබාදී නැහැ.
ඉන් අනතුරුව ඔවුන් මේ සම්බන්ධයෙන් එප්පාවල පොලීසියට පැමිණිලි කර ඇති අතර, සැකකරු මිහින්තලය - බෝගහයාය ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.