ඊයේ (14) යාපනයේ පැවැත්වීමට නියමිතව තිබූ තෛපොංගල් උත්සවයකට සහභාගී වීමට ගුවන් යානයකින් ගිය එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමති මහින්ද අමරවීර මහතාගේ ජීවිතය බේරී ඇත්තේ වාසනාවකටයි.
අමරවීර ඇමතිවරයාගේ මේ ගමනට ඔහුගේ ආරක්ෂක නිලධාරීන් සමග තවත් කිහිපදෙනෙක් ගුවන් යානයෙන් යාපනය පලාලි ගුවන් තොටුපළට යෑමට නියමිතව තිබුණත් , ගුවන් නියමුවන් යානය පදවාගෙන ගොස් තිබෙන්නේ තලෙයිමන්නාරම දෙසටයි.
පලාලි ගුවන් තොයුපලට යානය ගොඩ බැස්සවීම වෙනුවට තලෙයිමන්නාරහ දූපත් ආසන්නයට ගුවන් යානය පදවන්නේ කුමටදැයි ගුවන් යානයේ සිටි අයෙකු විමසද්දී යාපනයට යන්න මාර්ගය නොදන්නා බව ගුවන් නියමුවා ප්‍රකාශ කළැයි ධීවර හා ධීවර සම්පත් අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පවසා තිබෙනවා.
මේ අවස්ථාවේ ගූගල් ගුවන් සිතියම අධ්‍යයනය කර ගුවන් යානය ගොඩබැස්සිය යුතු පලාලි ගුවන් තොටුපළ මාර්ගය ගුවන් නියමුවාට පෙන්නා දීමෙන් පසු ඔහු ගුවන් යානය එම තොටුපළට ගොඩ බැස්සීමට කටයුතු කර ඇති බවයි වාර්තාවන්නේ.
සාමාන්‍යයෙන් පලාලි ගුවන් තොටුපළට කොළඹ සිට ගුවනින් යන්නට ගතවන්නේ විනාඩි 45ක් පමණ වුවත් ගුවන් යානය පලාලි ගුවන් තොටුපළට ළගාවන්නට පැය දෙකකට ආසන්න කාලයක් ගෙවා තිබෙනවා.
මේ අනතුරුදායක තත්ත්වයේ වඩාත් වැදගත් සිද්ධිය වන්නේ පලාලි ගුවන් තොටුපළට යානය ගොඩබස්සවන විට එහි ඉන්ධනද අවසන් වීමට ආසන්නව පැවතීමයි.
ඇමති මහින්ද අමරවීර මහතා සමග ගිය නිලධාරියෙකු මේ තත්ත්වය ගැන කොළඹට දැනුම්දී කොළඹින් වාහන දෙකක් ගෙන්වා ගෙන මහා මාර්ගය ඔස්සේ ඊයේ රාත්‍රී ආපසු කොළඹට පැමිණි බවයි අමාත්‍යාංශ නිලධාරියා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ.
කෙසේ වෙතත් මෙම යානය පැදවූ ගුවන් නියමුවාගේ ගුවන් නියමු බලපත්‍රය අහෝසි කරන්නට සිවිල් ගුවන් සේවා අධිකාරිය තීරණය කර තිබෙනවා.