අයිරාංගනී සේරසිංහයන් මේ දිනවල සමාජ ජාල වෙබ් අඩවිවල කතාබහට ලක් වෙන චරිතයක් බවට පත් වෙලා. ඒ අගමැති එක්ක නර්තනයක යෙදුණු වීඩියෝවක් නිසා. ඇය රිදී තිරයට මෙන්ම පුංචි තිරයට නැතිවම බැරි රංගන ශිල්පිණියක්. මේ ඇය ඒ නැටුම ගැන පුවත්පතකට කතා කර තිබුණු සංවාදයයි.
අගමැති තුමා එක්ක නටපු එක ගැන කිව්වොත්..?
පසුගිය සිකුරාදා මගේ නෑදෑ ළමයකුගේ උත්සවයකට ගියේ.
අගමැතිතුමාටත් ආරාධනා ලැබුණද..?
ඔව්. ඒ ළමයා මගෙත් නෑදෑයෙක්. අගමැතිතුමාගේත් නෑදෑයෙක්. එයාලා කසාද බැන්දා. අපිටත් ආරාධනා කළා. අගමැති අපේ කිට්ටු නෑදෑ කෙනෙක්. මගේ නැද්දාගේ මුණුපුරා. ඒ කියන්නේ මගේ තාත්තගේ නංගිගේ මුණුපුරා. මගේ බැණා කෙනෙක්.
කිට්ටු ආශ්රයක් තියෙනවද..?
ඔව්. පුංචි කාලේ ඉදලා අපි හදුනනවා. නිතර හමුවෙනවා. ඒත් දේශපාලන අදහස් ගැන අපි කතා කරන්නේ නැහැ.
අගමැතිතුමා එදා විනෝදෙන් නේද හිටියේ..?
හපොයි ඔව්. එදා හරි හොඳට හැමෝම එක්ක කතා කළා. සුහදව.
නැටුම ආරම්භ වුණේ කොහොමද..?
අපේ ගැහැණු ළමයා බැන්දේ අයර්ලන්ත ජාතිකයෙක්. එදා උත්සවයට සුද්දෝ හුගදෙනෙක් ඇවිත් හිටියා. බෑන්ඩ් එක ගහන්න පටන් ගත්තා. එතන හිටපු සුදු ජාතිකයින් අපිට නටන්න එන්න කියලා ආරාධනා කළා. අපි ඔක්කොම එකට නැටුවා. අගමැතිතුමාත් නැටුවා. හරිම විනෝදයි. ඒ වගේ වෙලාවකට විනෝද වෙන්න ඕන නේ. ඒකේ වරදක් නැහැ. මිට කලින් හමුවෙලා තිබුණට එහෙම විනෝද වෙලා නැහැ. එතුමා මට කිව්වා මට වඩා ඔයා හොදට නටනවනේ කියලා.