Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva

Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Rayynor Silva,Raynor Silva Holdings,RaynorSilva,RayynorSilva,Hiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka - හතර වටින් ඇහෙන නියම ගොසිප්

Jan
09
"මට ලැබුණු තෑග්ග පරිත්‍යාග කළේ හරිම සතුටින්.." හිරු නැණ කිරුළෙන් ලැබුණු තෑග්ග අහිංසක දරුවන් දෙදෙනෙකුට දුන් පොඩ්ඩා කියයි - Photos

- "මට ලැබුණු තෑග්ග පරිත්‍යාග කළේ හරිම සතුටින්.." හිරු නැණ කිරුළෙන් ලැබුණු තෑග්ග අහිංසක දරුවන් දෙදෙනෙකුට දුන් පොඩ්ඩා කියයි - PhotosHiru Gossip, Hiru news, Gossip Lanka News | Hirugossip | Hiru Gossip | Hiru Fm Gossip | Hiru Gossip Official Web Site | Gossip Lanka

16,291 Views
"මං පොත් පන්දාහකට වැඩිය කියවලා තියෙනවා..

"O/L වලින් මුල් පස් දෙනා අතරට එන්න බලාපොරෝත්තුව.."

තරගයකින් ජය ගැනීම පහසු නැත. එසේ අමාරුවෙන් ලබාගත් ජය අනෙක් අතට තව කෙනෙකුට පරිත්‍යාග කිරීම ඊටත් වඩා අපහසු කටයුත්තකි. ජයග්‍රහණයේදී නිහතමානිව සතුටු වී පරාජය ලැබූවෙකුගේ දෙතොලට සිනාවක් දිය හැකි හදවතක් ඇත්තෙකුට එය ඒතරම් අමාරු, අපහසු, දුෂ්කර දෙයක් නොවේ. දහතුන් හැවිරිදි බානුක කුමාර අඹේගොඩ පුතුට ඇත්තේද එවන් ඇදහිය නොහැකි හදවතකි.
ඔහු මාස ගානක් තිස්සේ දැනුමින් තරග වැද දිනාගත් රුපියල් ලක්ෂ පහළොවක් වටිනා තිළිණය ඔහුගේම වයසේ දුප්පත් දරුවන් දෙදෙනෙකුට නොමසුරුව බෙදා දෙන්නට ඔහුගේ හිතට පුළුවන් වූයේ ඒ නිසාය.  පිළිමතලාව පමුණුවේ ඉපදී තවමත් මිනිසුන්, සමාජය හා ලෝකය තේරුම් ගන්නා වයසක සිටින බානුකගේ ඒ ගුණදහමින්, පිරිපුන් හිත ගොඩනැගෙන්නට ඔහු කුඩා වියේ සිටම ශක්තිමත් අත්වැලක් වූවෝ ඔහුගේ මව්පියෝය. ඒ ව්‍යාපාරිකයෙකු වූ මහින්ද කුමාර අඹේගොඩ හා අනුරාධිකා ජයරත්නයි. බානුකගේ එකම නැගණිය වන්නී මහනුවර උසස් බාලිකාවේ 6 වසරෙහි ඉගෙනගන්නා යාමිනී ෂෙහාරා අඹේගොඩයි.

”අපි මහගෙදර හිටපු නිසා පුතා පුංචි කාලෙ ඉඳලා එයාගෙ සීයා එක්ක හැදුණෙ. පුතා තේරෙන කාලෙ එනකොට සීයාගෙ වැඬේ පුතාට කතන්දර කියලා දුන්න එක. එක කතන්දරයකින් බේරෙන්න බෑ. එකක් ඉවරවෙනකොට එකක් වෙන්න කතන්දර කියලා දුන්නා. ඔය විදිහට දවසට කතන්දර දහයක් පහළොවක් කියන්න වුණා. පුතා ඒවා හැම එකක්ම හොඳට මතකයේ තියාගත්තා. ඔහොම කතන්දර කියනකොට සීයා ළඟ කතන්දර හිඟ වෙනවා. අවුරුදු දෙක හමාරෙදි පුතාගෙ සීයමයි පුතාට අකුරු කියවන්නේ. පුතා මොන්ටිසෝරි ගියේ නෑ. සීයත් එක්ක තමයි ලියන්න කියවන්න ඉක්මනටම පුරුදු වුණේ. ඊට පස්සෙ කතන්දර ඉල්ලලා වද කරන පුතාට සීයා පුංචි පුංචි කතන්දර පොත් ගෙනත් දුන්නා. කතන්දර දැනගැනීමේ වුවමනාවට පුතත් කොහොමහරි ඒ පොත් කියෙව්වා. පුතා ඉස්කෝලේ යනකොට හොඳට පොත් කියවනවා. පුතා ”මඩොල්ව” කියෙව්වෙ දෙකේ පන්තියේදි. දෙකට යනකොට එයා පොත් මහා ගොඩක් කියවලා හිටපු දරුවෙක් ”

බානුක දැනුම සොයාගිය ගමනේ මූලාරම්භය අනුරාධිකා පෙළගැස්සුවේ එහෙමය. බානුකට ළදරු වියේදීම දැනුම් සම්භාරයක් දුන් ඒ සීයා උගතෙකි. ඔහු හිටපු ගුරුවරයකු හා විදුහල්පතිවරයෙකු වූ සයිමන් අඹේගොඩයි. සීයාගේ අතේ එල්ලී උගතෙකු වන්නට යන ගමනේදී ඒ ඒ වයසේදී වයසට සරිලන සීයාගේ සියලූ දැනුම කලින් කලට මේ මුනුබුරාට ලැබුණේය.

”මං කතන්දර අහනකොට, කතන්දර කියවනකොට මට කතන්දර ලියන්න හිතුණා. මං කතන්දර ගොඩාක් ලිව්වා. ඒවා සීයටයි, අම්මටයි, තාත්තටයි කියවන්න දුන්නා. අම්මා මම ලියපු කතන්දරවලින් තෝරලා ගත්ත” අමල්ගේ අරුම පුදුම සොයාගැනීම” කියන කතන්දරේ පොතක් විදිහට මුද්‍රණය කරලා දුන්නා. ඒ මං තුන වසරෙදියි.”

බානුක වයස අවුරුදු අටේදි පොත් කතුවරයෙකු ද වුණේය. ඔහුගේ තවත් කතන්දර කීපයක් පොත් ලෙස මුද්‍රණය කරදෙන්නට අනුරාධිකා හා මහින්ද උත්සාහ කළද බානුක ඊට එතරම් කැමතිවූයේ නැත. ඔහු යමක් කමක් ඇති පවුලක උපන් දරුවකු වුවද කුඩා කල සිටම සිතුවේ තරමක් වෙනස් විදිහකටය.

”පුතා කිව්වා අම්මලාට සල්ලි වියදම් වෙන හින්දා තව පොත් ප්‍රින්ට් කරන්න එපා කියලා. එයා පොත් ගන්න පොත් සාප්පුවට ගියාමත් ඔහොමයි. තෝරගන්න පොත් මිටියෙන්න් එක පොතක් හරි අඩු කරනවා. අම්මලාට සල්ලි ගොඩක් වියදම් වෙනවනෙ කියලා. හැබැයි එයා කොහොමහරි ඉක්මනට පොත් සාප්පුවේදිම ඒ තෝරලා ගන්නෙ නැතුව තියලා. යන පොත කියවලා ඉවර කරනවා.

පුතා සීය එක්ක හිටපු හින්දා ඒ වයසෙ දරුවෙකුට ගන්න බැරි විශාල දැනුමක් ලබාගත්තා. පරිසරයෙන් වුණත් ගොඩාක් දේවල් එයා ඉගෙනගත්තෙ සීයා නිසයි. ඒ දැනුමයි ඉස්කෝලේ දැනුමයි එක්ක පුතා හැමදාම පන්තියේ පළවැනියා වුණා. එයා පන්තියේ පළවැනියා වෙනකොට එක දෙයයි අපෙන් ඉල්ලූවේ. එයා ලකුණු 95 ට වැඩි හැම විෂයකටම පොතක්  ඕන කිව්වා. හැම පාරම විෂයන් අටටම ලකුණු 95 ට වැඩියෙන් ගන්නවා. 100ක් 98ක් 96 ක් තියෙනවමයි. ඉතින් අපිත් එයාට පොත් අටක් අරන් දෙනවා හැමපාරම. දැන් එයා අන්තර්ජාලයෙන්  ඕන පොත් ඩවුන්ලෝඞ් කරලා කියවනවා. ළඟ තියාගන්න  ඕන කියලා හිතෙන පොත් සල්ලි දීල ගන්නවා.”

මේ පුංචි හපනා මුලින්ම ඉගෙනුම ලැබුවේ පිළිමතලාවේ හැරමිටිගල ශ්‍රී ධීරානන්ද මහා විද්‍යාලයෙනි. ඔහු 2015 වසරේ ලකුණු 184 ක් ලබාගෙන ශිෂ්‍යත්ව විභාගයෙන් සමත්වුණේය. ඒ සඳහා ඔහු ගියේ එකම පන්තියකට විතරය.

”තුෂාර හේවගේ සර්ගෙන් මම ගණන් ගැන ලොකු දැනුමක් ගත්තා. සීයගෙන් තමයි හොඳම සිංහල දැනුමක් ආවේ. සීයගෙන් පාලි, සංස්කෘත, ඉංග්‍රීසිත් ඉගෙනගත්තා. මං ශිෂ්‍යත්වෙන් පාස්වෙලා මහනුවර ධර්මරාජ විද්‍යාලයට ගිහින් ඉගෙන ගන්න ගත්තෙ ඉංග්‍රීසි මාධ්‍යයෙන්. ධර්මරාජ විද්‍යාලයට එද්දි සීයගෙන් ටිකක් ඈත්වුණා. මට ගෙදර ඉඳලා ඉස්කෝලෙට දුර හින්දා අපි ගන්නොරුවට ආවා. සීයා අපේ ගෙදර එනවා. හැබැයි දැන් නම් මං සීයගෙන් කතන්දර අහන්නෙ නෑ. මම සීයට ලෝකෙ තියෙන ගොඩක් කතන්දර කියලා දෙනවා… ”

එසේ බානුක සීයට කියන්නට ලෝකය ගැන දැනුම ලබාගන්නේ අන්තර්ජාලයෙන් සහ ඔහු කියවන අලූත් පොත්පත්වලිනි. කුඩා දරුවෙකු වුවත් 6 වසරේ සිට බානුකට අන්තර්ජාලය පරෙස්සමින් පරිහරණය කිරීමේ අවසරය මව්පියන්ගෙන් ලැබුණේය. ඒ ඔහු ශිෂ්‍යත්වය සමත්වූදා  තිළිණ ලද ටැබ් එකෙනි. බානුක පාසලේ ඉංග්‍රීසි මාධ්‍යයෙන් ඉගෙන ගත්තද සිංහල භාෂා තරග හතරකටම ඔහුව පාසලෙන් යවනු ලබයි. ඒ සිංහල සාහිත්‍ය, භාෂා භාවිතය හා අවබෝධය, පද්‍ය රචනා හා ගද්‍ය රචනා අංශවලිනි. එහිදී පාසල් හා පළාත් තරගවලින් ජයග්‍රහණ ලබන බානුක සමස්ත ලංකා ජයග්‍රහණ දිනාගන්නටද සමත් වුණේය.

පාසලේදී එවන් බාහිර කටයුත්තක නියැළුණ ද බානුකගේ එකම කැමැත්ත කාලය අපතේ නොයවා දැනුම එකතු කරන්නට පොත්පත් කියවීමයි.

”පුතා මගෙන් යාන්තමට හරි ගුටියක් කනවා නම් කන්නෙ නිදා ගන්න ඇඳට ගිහිල්ලා වගේම කෑම කන්න ගියාමත් පොත් කියවන්න ගත්තම. ඒත් ඉතින් මම බැන්නත්, ගැහුවත් පුතා කරන්නෙ හිනාවෙන එක. පුතා කවදාවත් තරහගන්න දරුවෙක් නෙවෙයි. . . ”

පොතපතින් ඔහු සොයන දැනුමේ සීමාවක් නැත. කොතෙක් පොත් කියෙව්වද ඔහුට ඇතිවීමකුත් නැත.  අවුරුදු දෙකහමාරේ සිට ඔහුට ලැබුණු පොත් කියවා සුරක්ෂිතව එක් රැස් කරගෙනද සිටියි.

”මගෙ ළඟ පොත් දෙදාහකට වැඩිය තියෙනවා. මං ඔක්කොම පොත් පන්දාහකට වැඩිය කියවලා තියෙනවා. හැබැයි මං ටීවී බලන්නෙ නෑ. මං හතරෙ පන්තියේදී අම්මට කිව්වා ටීවී එක අයින් කරන්න කියලා ශිෂ්‍යත්වෙට ලියනකල්. අම්මා ටීවී එක නෑදෑයෙකුට දුන්නා. ශිෂ්‍යත්වෙ ඉවරවුණාම මං අම්මට කිව්වා ඒ ලෙවල් විභාගෙ ඉවර වෙනකල් ආයෙ ටීවී එක ගේන්න එපා කියලා. ”

ඉගෙන ගන්නා දරුවෙකුට රූපවාහිනියේ ඇති අනවශ්‍ය බව අම්මාට හා තාත්තාට පෙන්වා දුන්නේ බානුක විසිනි.

”අපි ටීවී බලන්නෙ නැති නිසා අපේ නැන්දා ගිය අවුරුද්දෙ ජූලි මාසෙ දවසක මට කතා කරලා කිව්වා හිරු ටීවී එකේ හිරු නැණ කිරුළ කියලා දැනුම මිනුම තරගයක් තියෙනවා. පුතාට දැනුමක් තියෙන නිසා ඇප්ලිකේෂන් එකක් දාන්න කියලා. පුතත් ඒ ගැන කිව්වම ආසවුණා ඇප්ලිකේෂන් එකක් දානවට එයාගෙ දැනුම බලන්න. ඉතින් අපේ අම්මා තමයි හිරු ටීවී බලලා ඒ කියන විදිහට ඇප්ලිකේෂන් එක ඊට පස්සෙ දැම්මෙ.”

පළමු ජයග්‍රහණයට ලක්ෂ පහළොවක අධ්‍යාපනික ශිෂ්‍යත්වයක් ත්‍යාගය ලෙස ලබා දෙන්නට සැලසුම් කරමින් ආසියානු මාධ්‍ය ජාලයේ සභාපති රෙනෝ ද සිල්වා මහතාගේ සංකල්පයකට හිරු ටීවී නිර්මාණ අධ්‍යක්ෂ නිලේන්ද්‍ර දේශප්‍රිය මහතා වයස අවුරුදු 10 ත් 12 ත් අතර පොඩිත්තන් සඳහා නිර්මාණය කළ ”හිරු නැණ කිරුළ” හිරු ටීවී වැඩසටහන් අධ්‍යක්ෂ විරාජ් වැලිවත්තගේ අධීක්ෂණයෙන් නිෂ්පාදනය කළේ චතුර එල් ජයසුන්දර ඇතුළු නිෂ්පාදන කණ්ඩායමයි. මේ වැඩසටහන සඳහා ලැබුණු අයදුම්පත් දස දහසක අයදුම්කරුවන්ගෙන් සිය දෙනෙකු තෝරනු ලැබුවේ ලිඛිත පරික්ෂණයකිනි. ඉන්පසු පවත්වනු ලැබූ කැමරා පරීක්ෂණයෙන් තරගය සඳහා විසි දෙනෙකු තෝරාගනු ලැබීය. ඒ විසි දෙනා අතරේ බානුක ද සිටි අතර බානුක සතුව තිබූ දැනුම තරගය සඳහා මේ දුර එන්නට ඔහුට අත්වැල් දුන්නේය. තරග වට දාහතරකින් පැවැත්වුණ හිරු නැණ කිරුළ සඳහා විෂයයන් පහළොවක් යටතේ දරුවන්ගේ දැනුම උරගා බැලූ අතර වටයෙන් වටය ඉතාම දක්ෂයින් ඉතුරුවී තරගය ඉදිරියට ගියේය.

”එහෙම කට්ටිය ඉවත් වෙද්දි තරගෙට හිටපු ඉෂානි කාව්‍යා කියන දුවටත් තරගෙ මැද හරියෙදි ඉවත් වෙන්න සිදුවෙනවා. ඊළඟ සතියෙ ඒ ඉවත්වීම පෙන්නන කොට එයාගෙ ගෙදර විස්තර ජීවත්වෙන හැටි විස්තර ඔක්කෝම පෙන්නනවා. ඒ දුප්පත්කමයි දක්ෂතාවයයි ළඟ පුතාගෙ හිතට දුක හිතෙන්න ඇති. එයා මට ඒ වෙලාවෙ කිව්වා ”පව් අම්මා ඉෂානි. එයා ඉගෙනගන්න දක්ෂ ළමයෙක්. මට හැම දේම තියෙනවනේ… මම තරගෙන් දිනුවොත් මට හම්බවෙන තෑග්ග එයාට දෙනවා” කියලා. ඉතින් ඒක එයාගෙ කැමැත්තනේ… අපි මොනවත් කිව්වෙ නෑ. හැබැයි පුතා ඊට පස්සෙ හොයලා තියෙනවා එතන තව ඒ වගේ අය ඉන්නවද කියලා. කලින්ම වටයකින් අයින්වෙලා ගිය පමුදු පන්සිළු ගැන දැනගෙන තියෙන්නෙ එහෙමයි. ඒ වෙලේ ඉඳලා එයා කිව්වේ දිනුවොත් එයාගෙ තෑග්ග ඉෂානිටයි පමුදුටයි දෙනවා කියලා… ”

මාස තුනකට වැඩි කාලයක් තිස්සෙ පැවති හිරු නැණ කිරුළ වැඩසටහනේ අවසන් තරගය පැවැත්වුණේ ගෙවුණු දෙසැම්බර් 23 වැනිදා ය. එදා වැඩසටහනට තරගකරුවන් හතර දෙනෙකු ඉතිරිවී සිටි අතර තරගයට පෙර මේ තරගකරුවන්ගේ මව්පියන්ගෙන් ද වැඩසටහන් කණ්ඩායම තරගය හා දරුවන්ගේ ජයග්‍රහණ ගැන තොරතුරු ලබා ගත්තේය.

”මගෙනුත් ඇහුවා, පුතා දිනුවොත් මොකද කරන්නෙ කියලා. මං කිව්වා ඒක පුතාගෙ ජයග්‍රහණයක් නෙවේ, තව දරුවො කීපදෙනෙක්ගෙ ජයග්‍රහණයක්.  පුතා දිනුවොත් ඒ තෑග්ග ඒ දරුවන්ට දෙන එක එයාගෙ කැමැත්ත කියලා. පුතා තරගෙන් දිනුවා. ඒ වෙලාවෙ ඒ අය ඇහුවෙ උදේ කියපු වැඬේ එහෙම කරනවද කියලා. මං කිව්වා ඔව්, ඒක පුතාගෙ කැමැත්ත කියලා. ඉතින් පුතා හිරු නැණ කිරුළ ජයග්‍රාහකයා විදිහට කුසලානය ලැබුවා. ලක්ෂ පහළොවක අධ්‍යාපනික ශිෂ්‍යත්වයට හිමිකම් කිව්වා.”

ඒ මොහොතේ වේදිකාවට ගොඩවූ අනුරාධිකා පුතාගෙ කැමැත්තට අනුව ඒ ශිෂ්‍යත්වය ඉෂානි කාව්‍යාටත් පමුදු පන්සිලූටත් පරිත්‍යාග කරන බව කියූ විට ඉෂානි හා පමුදු පුදුම වද්දී බොහෝ දෙනෙකුට එය විශ්වාස කරන්නටත් බැරිවිය.

”අපේ පුතා ගැන අපිට ආඩම්බරයි. එයා හැමදාමත් අපිට සතුට දෙන ගුණගරුක දරුවෙක්.”
අනුරාධිකා බානුක පුතා ගැන හිතේ ඇති සතුට ආඩම්බරය වචන කළේ එහෙමය. එදා ඒ තරගයෙන් දෙවැනි ස්ථානය ලද්දේ රුවන්වැල්ල රාජසිංහ මහා විද්‍යාලයේ මහිමා කෞමදී දියණියයි. තුන්වැන්නියා වූයේ කොළඹ ආනන්ද විද්‍යාලයේ දුල්වන් ලක්මුතු පුතුය.

”මම දිනපු වෙලේ මට ගොඩාක් සතුටු හිතුණා. ලංකාවෙම ප්‍රසිද්ධ වුණ ලංකාවෙන්ම තරගකාරයන් සහභාගි වුණ මේ වගේ දැනුම මිනුම තරගයකින් ජය ලබන්න ලැබීම කියා ගන්න බැරි සතුටක්. මට ඊටත් වඩා සතුටුයි අද මගේ උත්සාහයෙන් ගත්ත ලොකු ජයග්‍රහණයක් තවත් අයට පරිත්‍යාග කරන්න ලැබීම ගැන. මම දිගටම පොත් පත් කියවලා, අන්තර්ජාලය පරිහරණය කරලා මගේ දැනුම අලූත් කරගන්නවා. ඊළඟට තව අවුරුදු තුනකින් තියෙන  ඕ ලෙවල් විභාගෙ මගෙ ඊළඟ ඉලක්කය.  ඕ ලෙවල් විභාගයෙන් මුල් පස් දෙනා අතරට එන එකයි මගේ බලාපොරොත්තූව. ”

ඒ බලාපොරොත්තුව ඔහුට ඊටත් වඩා ජයග්‍රාහී ලෙසින් ලබාගන්නට නොහැකියාවක් නැත. ගුණගරුක, පරිත්‍යාගශීලි, සොඳුරු හිතක් හිමි බානුක කුමාර අඹේගොඩ වැනි පුතුන් මේ රටට වාසනාවක්ම වන්නේය.

බියංකා නානායක්කාර
Make a Comment
Make a Comment






Recent Gossip Post




Sithin Welapena - Sachith Edirisinghe
Sithin Welapena
Sachith Edirisinghe
⤵  2,293 Downloads

Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song) - Kasun Tharindra
Nosithu Mohothakadi (Thamath Adare Nathnam Teledrama Song)
Kasun Tharindra
⤵  6,965 Downloads

Mumuna Kiyana - Kavindya Adhikari ft Sankalpa
Mumuna Kiyana
Kavindya Adhikari ft Sankalpa
⤵  1,376 Downloads

Balan Sithe - Roshan Fernando
Balan Sithe
Roshan Fernando
⤵  1,633 Downloads

Adenawa - Shiny
Adenawa
Shiny
⤵  1,457 Downloads

Onakam Apa Wenathuru - Chinthaka Sandaruwan
Onakam Apa Wenathuru
Chinthaka Sandaruwan
⤵  2,371 Downloads

Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song  2018) - Umanda Sandani ft Sandaruwan Munasinghe
Niwan Yanna Maga (Hiru Shakyasinghe Mangalyaya Theme Song 2018)
Umanda Sandani ft Sandaruwan Munasinghe
⤵  4,892 Downloads

Api Ath Una Mathakai - Roshan Chamara
Api Ath Una Mathakai
Roshan Chamara
⤵  1,604 Downloads

Paraduma Dara - Hasun Karunarathne
Paraduma Dara
Hasun Karunarathne
⤵  2,181 Downloads

Oba Mage Witharamai - Roshan Chamara
Oba Mage Witharamai
Roshan Chamara
⤵  6,155 Downloads



Top 10 Commenters

Latest Comments

Top