‘‘මම උඹට ගහනවා’’ කියලා...
ගුටිබැට හුවමාරුවෙන් පසු සැකකරු පිහි පහරවල් 3ක් එල්ල කරලා...
දිගු කලකට පෙර පාසැලේදී ඇති වූ ආරවුලක් දුරදිග යෑමෙන් හික්කඩුව, ගෝනාපිනුවල සාරාලංකාර විද්‍යාලයේ සිසුවකු එම විද්‍යාලයේම තවත් සිසුවෙකුට පිහියකින් ඇන පෙරේදා (05) පෙරවරුවේ ඝාතනය කර තිබෙනවා.
පෙරේදා (05) පෙ.ව 9.00 ට පමණ ගෝනාපිනුවල, වුඞ්ලන්ඞ්වත්ත ප්‍රදේශයේදී මෙම පිහි ඇනුම සිදුව තිබෙන බවත් සිද්ධියෙන් බරපතල තුවාල ලැබූ සිසුවා ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත් කිරීමෙන් පසු එහි ප්‍රතිකාර ලබමින් සිටියදී පෙ.ව 11.35 ට පමණ මියගොස් තිබෙන බවත් හික්කඩුව පොලීසිය පැවසුවා.
මෙසේ මියගොස් ඇත්තේ හික්කඩුව, සාරාලංකාර විද්‍යාලයේ පසුගිය වසරේ (2016) අපොස සාපෙළ විභාගයට පෙනී සිටි ගෝනපිනුවල, හැරිසන් වත්තේ පදිංචි බෝපගේ ප්‍රවීන් කාවින්ද (17) නැමැති සිසුවායි.
පිහිඇනුම සිදුකළේ යැයි එම විද්‍යාලයේම මෙවර (2017) අපොස සාපෙළ විභාලයට පෙනි සිටි වුඞ්ලන්වත්ත, අළුත්වල පාර, ගෝනපිනුවල ලිපිනයේ පදිංචි බද්දේගම ගණිතගේ කවීන් එරන්ද (16) නැමැති සිසුවා හික්කඩුව පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන තිබෙනවා.
සැකකරු හා මියගිය අය අතර පාසැලේදී ආරවුලක් ඇතිව තිබෙන බවත් එහිදී මියගිය අය විසින් සැකකරුට ‘‘මම උඹට ගහනවා’’ යනුවෙන් ප්‍රකාශ කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වී ඇති බව සඳහන්.
පෙරේදා (05) පෙරවරුවේ මියගිය අය සැකකරුගේ නිවස අසලින් යනවා දුටු සැකකරු පිහියක්ද රැගෙන පැමිණ නැවත ආරවුලක් ඇතිකර ගෙන තිබෙන බවත් එහිදී ඇති වූ ගුටිබැට හුවමාරුවෙන් පසු සැකකරු මියගිය අයට පිහිපාර තුනක් (03) එල්ල කර තිබෙන බවත් පොලිස් පරීක්ෂණ වලදී තහවුරු වූයේ යැයි හික්කඩුව පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළා.
මියගිය අය සම්බන්ධයෙන් වූ මහේස්ත්‍රාත් පරීක්ෂණය ගාල්ල, අතිරේක වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා විසින් හා පශ්චාත් මරණ පරීක්ෂණය ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී එම් එම් එස් ජයසුන්දර මහතා විසින් කරාපිටිය රෝහලේදි ඊයේ (06) දින පවත්වා ඇති අතර පිහිඇනුම හේතුවෙන් ඇතිවු බහුවිධ තුවාල හා අධික රුධිර වහනය හේතුවෙන් මරණය සිදුව තිබෙන බව වෛද්‍ය වාර්තාවේ සඳහන් වනවා.
සැකකාර සිසුවා ඊයේ (06) සවස ගාල්ල, අතිරේක වැඩ බලන මහේස්ත්‍රාත් ලලිත් පතිරණ මහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු 2018 ජනවාරි 15 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමටද නියෝග කර තිබෙන අතර එදිනට සිද්ධිය සම්බන්ධයෙන් මූලික සාක්ෂි ගොනු කරන ලෙසට හික්කඩුව පොලීසියට නියෝග කල මහේස්ත්‍රාත්වරයා මරණ පරීක්ෂණයේ සාක්ෂි විමසන බවද දැනුම් දී තිබෙනවා.
හික්කඩුව මූලස්ථාන පොලිස් පරීක්ෂක ටී සී වෙත්තසිංහ මහතාගේ මෙහෙයවීම මත අපරාධ අංශයේ ස්ථානාධිපති අයි. ජී. ඩබ්ලිව් ලක්මාල්, පොලිස් සැරයන් වරුන් වන ඩග්ලස් , කපිල යන නිලධාරීන් ඇතුළු පිරිසක් වැඩිදුර පරීක්ෂණ පවත්වනවා.VIDEO