තම ළදරු පුතුට මව් කිරි සමඟ වේදනා නාශක පෙති මිශ්‍ර කර ලබාදී දරුවා ඝාතනය කිරීමට උත්සාහ දැරූ මවක් පිළිබද පුවතක් හම්බන්තොට පොලීසියෙන් අද (19) වාර්තා වුණා. 31 හැවිරිදි සැකකාර මව මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.
පසුගිය අගෝස්තු මස 5 වන දා තණමල්විල මූලික රෝහලේ ඉපදුණු මෙම කුඩා බිළිදා නියමිත බරින් යුක්ත නොවීම නිසා වැඩිදුර ප්‍රතිකාර ලබමින් සිටියේ හම්බන්තොට රෝහලේ නොමේරූ ළදරු ඒකකයේයි.
මව් කිරි දොවා දරුවාට ලබාදෙන ලෙස වෛද්‍යවරුන් මවට උපදෙස් ලබාදී තිබුණා. පෙරේදා එලෙස ළදරුවාට ලබාදුන් මව්කිරි දරුවා පානය කර නැහැ. දරුවාගේ ගෙලෙහි යම්කිසි කුඩු වර්ගයක් පවතින බව එම ස්ථානයට පැමිණි හෙදියන් පසුව නිරීක්ෂණය කර තිබෙනවා. පසුව හෙළි වුණේ මව විසින් වේදනා නාශක පෙති භාගයක් මව්කිරිවලට මිශ්‍ර කර ලබාදී ඇති බවයි.
වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී සැකකාර මව සදහන් කර ඇත්තේ තමාට වයස අවුරුදු එකයි මාස දෙකක පමණ තවත් දියණියක් සිටින බවයි. මෙම දරුවා ජීවත් කිරීමට අපහසු බැවින් මෙලෙස ඝාතනය කිරීමට උත්සාහ කළ බව ඇය සඳහන් කර තිබෙනවා. කෙසේ වෙතත්, හම්බන්තොට රෝහලෙන් සිදුකළ පැමිණිල්ලට අනුව තණමල්විල - ඌව කුඩාඔය ප්‍රදේශයේ පදිංචි සැකකාර මව මේ වන විට පොලීසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මේ අතර, කොළඹ හැව්ලොක් නිවාස සංකීර්ණය ආසන්නයෙන් ගලා බසින ඇළ මාර්ගයක තිබී බිළිඳු මළ සිරුරක් අද (19 සොයා ගත්තා. පොලීසිය සදහන් කළේ මෙම බිළිදා අද උපත ලබා ඇති බවට සැක කරන බවයි.