අතුරුදන් වී ඇති බවට තොරතුරු වාර්තා වු තනි දළයා නමින් ප්‍රකටව සිටි ඇතා වෙඩි තබා ඝාතනය කර තිබියදී වනජීවි නිලධාරීන් විසින් සොයාගෙන තිබෙනවා.
මෙම ඝාතනයත් සමඟ ගත වූ කාලය තුළ ගල්ගමුවේ දළ පූට්ටුවා ඇතුළු ඇතුන් සිව් දෙනෙකු සහ වන අලියෙකු ඝාතනය කර ඇති බවටයි පරිසර සංවිධාන පෙන්වා දෙන්නේ.
පුත්තලම - සෙල්ලන්කන්දල් රක්ෂිතය තුළ සැරිසරමින් සිටි මෙම තනි දල හස්තියා වෙඩි තබා ඝාතනය කර ඇති බවට ප්‍රදේශවාසීන් වනජීවි නිලධාරීන් දැනුවත් කර තිබෙනවා.
ඉන් අනතුරුව වනජීවි නිළධාරීන් රක්ෂිතයට පැමිණ මේ පිළිබඳ පරික්ෂා කර ඇති අතර, එහිදී ඇතාගේ සිරුර සොයා ගැනීමට ඔවුන්ට හැකි වුණා.
එමෙන්ම මිය ගිය ඇතාගේ සිරුරෙහි තිබූ වෙඩි තැබීමෙන් ඇති වූ තුවාල කිහිපයක් ද වනජීවි නිලධාරීන් නිරීක්ෂණය කර තිබෙනවා.
මෙම තනි දළ ඇතා පසුගිය කාලය පුරා කල්අඩිය රජයේ තේක්ක රක්ෂිතය සැරි සරමින් සිට ඇති අතර ඇතාගේ වයස අවුරුදු 30ක් පමණ වන බවයි වනජීවි නිලධාරීන් පෙන්වා දෙන්නේ.
උපතේදීම මෙලෙස එක් දළයකට පමණක් උරුමකම් කියන මෙම හස්තියාගේ උස අඩි 9ක් පමණ වනවා.
පරිසරවේදීන් කියා සිටියේ මෙලෙස අලි ඇතුන් ඝාතනය කිරීමේ වගකීම වනජීවි දෙපාර්තමේන්තුව භාර ගත යුතු බවයි.
මේ අතර, සෝමාවතිය ජාතික වනෝද්‍යානයේ දැව ජාවාරම්කරුවන් පිරිසක් රදවාගෙන සිටි වනජීවී නිලධාරීන් පිරිස මුදා ගෙන තිබෙනවා.
වන උද්‍යානය තුළ දැව ජාවාරමක් සිදුකෙරෙන බවට ලද තොරතුරකට අනුව ඒ පිළිබදව සොයා බැලීම සදහා ඊයේ එම ස්ථානයට ගිය වනජීවි නිලධාරීන් පිරිසකුයි මෙලෙස ජාවාරම්කරුවන් විසින් රදවාගෙන ඇත්තේ.
ජාවාරමක්වරුන් විසින් වන උද්‍යානයෙන් පිටතට පැමිණීම සඳහා භාවිතා කරන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර කර තිබෙනවා.
ඒ හේතුවෙන් වනජීවි නිලධාරීන්ට වන උද්‍යානයෙන් පිටතට යාමට නොහැකි වී ඇති අතර පැය 6කට ආසන්න කාලයක් ඒ හේතුවෙන් තම නිලධාරීන් එහි රැදී සිට ඇති බවයි පොළොන්නරුව වනජීවි කාර්යාලයේ නිලධාරියෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.