වසර තිස්හතහමාරක සිරදඬුවමක් විඳිමින් සිටින 39 හැවිරිදි සෙනරත් බන්දුල ලියනාරච්චි නමැති සිය පෙම්වතා සමඟ චමිලා නමැති තරුණිය අද (07) විවාහ වුයේ මැගසින් බන්ධනාගාරයේ දියි.
මෙය බන්ධනාගාර ඉතිහාසයේ සුවිශේෂී විවාහයක් බවට පත්වනවා.
මෙසේ විවාහ දිවියට පිවිසි චමිලා, බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුවේ ක්‍රියාකාරී සාමාජිකාවක්.
විවාහයෙන් පසු බන්ධනාගාරය ඉදිරිපිට මාර්ගය අසල මංගල සභාවක්ද පැවැත්වුනා.
එහිදී අදහස් දැක්වූ එම්. ශක්තිවේල් පියතුමා කියා සිටියේ එළඹෙන නත්තල් සමයේ එහි සැබෑ අරුත වන ප්‍රේමය කදිමට විදහා දැක්වූ අවස්ථාවක් ලෙස මෙය හැඳින්විය හැකි බවයි.
වත්තල ප්‍රදේශයේ පදිංචි චමිලා ද මෙහිදී අදහස් පළ කර තිබෙනවා.
තමන් අද (07) සිට ස්විටි ෂෙරින් චමිලා ලියනාරච්චි ලෙස හැඳින්වූ ඇය වසර 03ක සටනකින් පසු සිය පෙම්වතා මෙසේ බන්ධනාගාරයේ දී විවාහ කර ගැනීමට හැකි වූ බව සඳහන් කළා.
තමන් සිය පෙම්වතාගේ අයිතීන් වෙනුවෙන් සටන් කරන අවස්ථාවේදී එක්තරා බන්ධනාගාර ප්‍රධානියෙකු තමන්ට මේ ගැන කතා කිරීමට නීතිමය අයිතියක් නැතැයි කී බවත්, විවාහ සහතිකය පෙන්වන ලෙස කී බවත් ඇය සිහිපත් කළා.
තම පෙම්වතා වන රැඳවියා විටෙක කුරුවිට බන්ධනාගරයටත්, තවත් විටෙක අනුරාධපුර බන්ධනාගරයටත් මාරු කළ බවද ඇය සඳහන් කළා.
විවාහයෙන් පසු සැමියා යළි බන්ධනාගාරයටත් බිරිඳ ඇගේ නිවසටත් පිටත්ව ගියා.