ගල්ගමුවේ දළ පූට්ටුවාගේ අභිරහස් මරණය පිළිබඳව විධිමත්ව පරීක්ෂණ ක්‍රියාත්මක අතරවාරයේ දී ඊට සම්බන්ධතාවයක් ඇති බවට සැක කෙරෙන ප්‍රදේශයේ සංඝ පදවියක් උසුලමින් ප්‍රසිද්ධියට පත්ව සිටි නායක හිමිනමක් අතුරුදන්වී ඇතැයි තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඒ පොලිස් බුද්ධි අංශ ආරංචි මාර්ග හරහායි.
ඇත් දළ හා ගජමුතු ජාවාරමට සම්බන්ධ සැකපිට අත්අඩංගුවට ගෙන සිටින දැනට රිමාන්ඩ් භාරයේ සිටින ග්‍රාම නිලධාරීවරයා මෙම නායක හිමියන්ගේ වාහනයේ රියදුරෙකු ලෙසද කටයුතු කර ඇති බවත් පැවසෙනවා.
එමෙන්ම මෙම ඇත් දළ ඡාවාරම සිදුවී ඇත්තේ ද මෙම නායක හිමියන් වැඩ සිටි ඓතිහාසික පුදබිම තුළ දී බවද තොරතුරු අනාවරණ වී තිබෙනවා.
ඒ අනුව රිමාන්ඩ් භාරයේ සිටින ග්‍රාම නිලධාරීවරයා බේරා ගැනීමට මෙම නායක හිමියන් දැඩි උත්සහයක නිරතවී සිටින බවද ඇත් දළ ජාවරමට මෙම නායක හිමියන්ගේ සම්බන්ධතාවයක් තිබෙන බවට තොරතුරු හෙළිවී ඇතැයි පොලීසිය සඳහන් කරනවා.
ඒ ඔස්සේ විධිමත්ව පරීක්ෂණ පැවැත්වෙන අතරවාරයේදී නායක හිමියන් ඉකුත් උඳුවප් පෝය දිනට පෙර දිනයේ සිට මෙලෙස ප්‍රදේශය අතහැර පලාගොස් ඇතැයි පොලිස් බුද්ධි අංශ පවසනවා..
එම නායක හිමියන් වෙස් වළාගෙන විදේශගත වීමට වෑයම් කරන බවට තොරතුරු හෙළිවී ඇති බවටත් එසේ යෑම වළකාලීම සඳහා පොලිස් බුද්ධි අංශ විමසිල්ලෙන් සිටින බවත් එම අංශයේ නිලධාරියෙක් වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
මේ අතර ගල්ගමුවේ දළ පූට්ටුවා මැරීමට යොදාගත් බවට සැකකෙරෙන බොර 12 තුවක්කුවක් සහ උණ්ඩ දෙකක් සමග හිටපු හමුදා සෙබළෙක් හා ගවපට්ටි හිමිකරුවෙක් පෙරේදා (05) රාත්‍රී ගල්ගමුව පාලු කඩවලදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.