ජනාධිපතිගේ සහ අගමැතිගේ සහිත නාම පුවරුවකුත් කඩලා..
රුපියල් 16,000ක් වටිනා භාණ්ඩ වගයකුත් සොරකම් කරලා..
වෙළඳසැල් කිහිපයකට හොරෙන් ඇතුලු වී දේපල සහ මුදල් සොරා ගත් බව කියන පාසල් සිසුන් සිව්දෙනෙකු වනාතවිල්ලුව පොලීසිය මගින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ සිසුන් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට නියමිත අතර ඔවුන් රාත්‍රී කාලයේ සිය මිතුරන්ගේ නිවෙස්වල පාඩම් කිරීම සඳහා පිටත්ව යන බව දෙමව්පියන්ට පවසමින් මෙලෙස සොරකමේ නිරතව ඇති බවයි පොලිස් පරීක්ෂණ වලින් අනාවරණය වූයේ.
ඊයේ (21) අත්අඩංගුවට ගත් මෙම සිසුන් වනාතවිල්ලුව ප්‍රදේශයේ පාසලක ඉගෙනුම ලබන බව සඳහන්.
සැකකාර සිසුන් පළමුව, වනාතවිල්ලුව ප්‍රදේශයේ පිහිටි නිමි ඇඳුම් සහ විසිතුරු මසුන් අලෙවි කිරීමේ ස්ථානයකට ඇතුලු වී මුදල් සමඟ කැටයක් සොරා ගෙන ඇති අතර එහි තිබූ මත්ස්‍ය ටැංකි කිහිපයකට වස මිශ්‍ර කර ඇති බවයි පොලිසිය පැවසුවේ.
පසුව ඔවුන් ව්‍යාපාරික ස්ථානයකට ඇතුලු වී එහි තිබූ රුපියල් 16,000ක් වටිනා භාණ්ඩ සහ මුදල් සොරා ගෙන තිබෙනවා.
මේ අතර ඔවුන් වනාතවිල්ලුව මහජන පුස්තකාලය පරිශ්‍රයේ තිබූ ජනාධිපති සහ අගමැතිගේ රුව සහිත නාම පුවරුවකට හානි සිදුකර ඇති අතර ලංකා විදුලි බල මණ්ඩලයට අයත් නාමපුවරුවක්ද කඩා බිඳ දමා තිබුණා.
සැකකාර පාසල් සිසුන් අද (22) පුත්තලම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ වනාතවිල්ලුව පොලිසිය මගින් ක්‍රියාත්මකයි.