තම බාහුවේ බුදුරුව සහිත පච්චයක් කොටාගෙන ශ්‍රී ලංකාවට පැමිණි බ්‍රිතාන්‍ය ජාතික නයෝමි කෝල්මන් නමැති කාන්තාව වෙත පසුගියදිනවල සියල්ලන්ගේ අවධානය යොමුවුනා.
ඒ ඇය එම පච්චය හේතුවෙන් මෙරටින් පිටුවහල් කිරීම සම්බන්ධයෙන් මානව හිමිකම් නඩුවකින් ආණ්ඩුවට සහ පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහිව ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ලබාදුන් නියෝගයත් සමඟින්.
ඒ අනුව ඇයගේ මූලික අයිතිවාසිකම් කඩව ඇති බවට තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල රජයට නියෝග කළේ අදාල කාන්තාවට රුපියල් ලක්ෂ 05ක වන්දියක් ගෙවන ලෙසටයි.
එමෙන්ම තවත් රුපියල් ලක්ෂ 02ක් නඩු ගාස්තු ලෙස ගෙවන ලෙසටද නියෝග කෙරුණා.
මෙම විදේශික කාන්තාව අත්අඩංගුවට ගනු ලැබූ කටුනායක පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ පොලිස් සැරයන්වරයෙකුට ඇයට රුපියල් 50,000 බැගින් වන්දි ගෙවන ලෙසටද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කළා.
මේ අතර අදාළ නඩු තීන්දුවෙන් පසුව මුල්වරට ඇය අදාළ සිදුවීම පිලිබඳව BBC ය වෙත ප්‍රකාශ කර ඇත්තේ අදාළ තීන්දුව සම්බන්ධයෙන් තමන් සතුටු වන බවයි.
කෙසේ වෙතත් තමන් නැවත ලංකාවේ සංචාරය කිරීමට කිසිදු බලාපොරොත්තුවක් නොමැති බවද ඇය වැඩිදුරටත් සඳහන් කර තිබෙනවා.
බ්‍රිතාන්‍ය ජාතික හෙදියක් වන ඇය 2014 වසරේ ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ මෙලෙස අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කෙරුනා.
අදාළ තීන්දුව සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඇය වැඩිදුරටත් සඳහන් කර සිටියේ තමන් මෙහිදී දිගු කාලයක් අදාල තීන්දුව ලැබෙනතුරු බලාසිටිය බවයි.
එහිදී තම නීතිඥවරුන් දැඩි මහන්සියක් සහ කැපවීමක් කලද ඉන් ප්‍රයෝජනයක් නොවනු ඇති බව තමන් සිතූ බවයි නයෝමි කෝල්මන් ප්‍රකාශ කරන්නේ.
අදාළ නඩු තීන්දුව ඇසීමෙන් පසු තමන් කම්පනයට පත්වූ බවයි ඇය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ.
මේ ඇය එහිදී වදිදුරටත් BBC ය වෙත දැක්වූ අදහස් කිහිපයක්.
"ඒත් මම හිතන්නේ නැහැ මම ආයෙත් ලංකාවට යාවි කියලා. මට ලංකාව ගැන නරක හැඟීමක් නෑ. ඒ සේරම පටන්ගත්තේ එක පුද්ගලයෙක්. ඒ වගේම සමාජ මාධ්‍ය ඔස්සේ නොයෙක් දේ කියල තිබුණ. මගේ නීතිඥයන් වගේම මට උපකාර කරපු අනිත් හැම දෙනාටම ස්තුතියි, හැම තැනම හොඳ මිනිස්සු වගේම නරක මිනිස්සුත් ඉන්නවනේ. නමුත් මම ආයෙත් ගියොත් මට කරදර කරන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්න බව මම දන්නවා.මම ඊට කලින් දෙවතාවක්ම ලංකාවට ගිහින් තියෙනව. ඒ නිසා මම ඒ රටේ නීතිය ගැන දන්නවා,බුදු හාමුදුරුවන්ගේ පච්චයක් තියෙනවා නම් ඒක තියෙන්නේ ඕන ඉණට ඉහලින් කියල මම දන්නවා. මගේ පච්චය තිබුණේ අතේ බාහුවක. මම නිතරම තායිලන්තයට වගේම නේපාලයට යනවා. ඒ කිසිම රටක කිසිම කෙනෙකුට මගේ පච්චය ගැන ප්‍රශ්නයක් තිබුණේ නෑ. පච්චය මගේ කකුලේ තිබිල මාව පිටුවහල් කළා නම් ඒකට මම ඒ තීන්දුවට එකඟ වෙනවා."