ශ්‍රී ලංකාව බලා යන ගුවන් යානයක් පැමිණෙන තුරු ගුවන් තොටුපලේ දින ගණනාවක් රැඳීසිටි ශ්‍රී ලංකික කාන්තාවක් අවසානයේ නිරාහාරව මියයෑමේ ශෝචනීය පුවතක් පිළිබඳව මීගමුව දිස්‌ත්‍රික් මහරෝහලේ හදිසි මරණ පරීක්‍ෂකවරයා හමුවේ පැවැති මරණ පරීක්‍ෂණයකදී අනාවරණ වී තිබෙනවා.
මෙම ඉරණමට මුහුණ පෑමට සිදු වුයේ මැද පෙරදිග ගෘහ සේවිකාවක් වශයෙන් රැකියාවක් කළ 30 හැවිරිදි දිළුම් ප්‍රියංගා නමැති දෙදරු මවකටයි.
ඇයට අදාළ නිවසේ හාම්පුතුන් විසින් පහරදී කෲර ලෙස සැලකීමක් හේතුවෙන් ශ්‍රී ලංකාව බලා යැමට ඇයගේ ඥතීන් විසින් එවනු ලැබූ ගුවන් ටිකට් පතේ දිනය වෙනස්‌කර එරට ගෘහමූලිකයන් විසින් ඇයට භාරදීම නිසා මෙසේ ඇය නොපැමිණෙන ගුවන් යානයක් එනතුරු බලා සිට තිබෙනවා.
පස්‌සර අරලියාගම පදිංචිව සිටි වඩුතන්ත්‍රීගේ දිළුම් ප්‍රියංගා නමැති 30 හැවිරිදි දෙදරු මවගේ මරණ පරීක්‍ෂණය හදිසි මරණ පරීක්‍ෂක සිරි ජයන්ත වික්‍රමරත්න හමුවේ පැවැති අවස්‌ථාවේ ඇගේ පියා සාක්ෂි දුන්නා.
පියා වන 61 හැවිරිදි ඒ ෂෙල්ටන්ද අල්විස් මෙසේ කියා සිටියා.
"මට දරුවන් අට දෙනකු ඉන්නවා. මෙම සිද්ධියේදී මරණයට පත්වූ දිළුම් ප්‍රියංගිකා මගේ දෙවැනි දුවයි. ඇය විවාහ වී සිටිනවා. නමුත් ඇගේ දරු දෙදෙනා කොහේ සිටී දැයි සොයාගන්න බැහැ.ඇය 2016 ජුලි මස 2 වැනිදා ගෘහ සේවිකාවක් ලෙස ඩුබායි රටට සේවයට ගියා. ඇය කලක් තමා සේවය කරන ස්‌ථානය හොඳ තැනක් යැයි පැවසුවා. පසුව ඇයට සිදුවන හිංසා පිළිබඳව ඇය ඥතීන්ට පැවසුවා. ඒ අනුව ඇයට ආපසු පැමිණීමේ ගුවන් ටිකට් පතක් ඇගේ ඥතීන් විසින් යැව්වා"
"අනතුරුව ඇය ගුවන් ටිකට් පත රැගෙන ගුවන්තොටුපළට ගියත් ශ්‍රී ලංකාව බලා ගුවන් ගත වන යානයක් අද හෙට පිටත්වීමට නොමැති බව කියා තිබෙනවා. ඇය ගුවන් තොටුපළේ දින ගණනාවක් රැඳී සිටියත් ශ්‍රී ලංකාව බලා පියාසර කරන ගුවන් යානයක් පැමිණ නැහැ. ඇය දින ගණනාවක් ගුවන් තොටුපළේ නිරාහාරව සිටි නිසා මියයන්න ඇතැයි මා සිතනවා"
මේ අතර ඇය විසින් ශ්‍රී ලංකාවේ සිටි ඥාතීන්ට එවන ලද ලිපිවල ඇයට එහිදී සිදුවූ බව කියන ලිංගික අතවර පිළිබඳවද සඳහන්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙහිදී එරට වෛද්‍යවරයා සහ මීගමුව දිස්‌ත්‍රික් මහරෝහල් ප්‍රධාන අධිකරණ වෛද්‍ය විශේෂඥ එම්. එස්. රුහුල් හක් විසින් ලබා දුන් වෛද්‍ය නිගමනයන් අනුව එම මරණයට හේතුව නිශ්චිතව ප්‍රකාශ කළ නොහැකි බවයි මීගමුව හදිසි මරණ පරීක්‍ෂක වෛද්‍ය සිරි කීර්ති ජයන්ත වික්‍රමරත්න නිගමනය කර ඇත්තේ.