බොහෝ දෙනෙක් සිතන්නේ ජීවිතේ සැදෑ සමයේදී තමුන්ට ඉතිරි වෙන්නේ EPF හා ETF එක විතරයි කියලා. ජීවිත කාලෙන් වැඩි කොටසක් යම් සේවා ස්ථානයකට කඹුරා තමුන් නිදහස් වන කාල සීමාවෙදි ගන්නා මේ මුදල් ගැන තෘප්තිමත් වුණත්, මේ මුදල් ලබාගන්න ගියාම මුහුණ පාන්න වන අකරතැබ්බ ගැන නම් කාටත් පැහැදීමක් නැතුව ඇති.
ETF හෝ EPF කාර්යාල කියූ සැණින් ඕනෑම කෙනෙකුගේ සිහියට නැගෙන්නේ එම කාර්යාල තුළ සිදුවන්නට වන රස්තියාදුව ගැනයි. ETF හෝ EPF ගැන හරිහැටි අවබෝධයක් නැති කෙනෙකුට මේ කාර්යය තවත් අපහසුයි. ඒ නිසාම ETF හා EPF ගැන මූලික දැනුවත් කිරීමක් හා අනවශ්‍ය කාලය කා දැමීමකින් තොරව ඔබේ කාර්යය සිදු කරගන්නා අයුරු ගැන කරුණු පැහදිලි කිරීමක් වටිනු ඇතී. ඒ වගේම ETF හා EPF යනු ජීවිතයේ සැඳෑ සමයේදී ලබාගත හැකි මුදලක් පමණක් ලෙස සිතා සිටින පිරිසටත් මේ කරුණා කාරණා වැදගත් වේවි.
1958 වර්ෂයේ අංක 15 දරණ පාර්ලිමේන්තු පනත යටතේ EPF හෙවත් සේවක අර්ථසාධක අරමුදල ස්ථාපිත කර ඇත. රාජ්‍ය ආයතනවල මෙන් ස්ථීරභාවයක් පෞද්ගලික ආයතනවල සේවයේ යෙදෙන සේවකයන්ට නොමැති නිසාම ඔවුන්ට ස්ථාවරත්වයක් සකසාදීමේ අරමුණ වෙනුවෙන් මෙම EPF හෙවත් සේවක අර්ථසාධක අරමුදල ස්තාපිත කර තිබේ.
ඕනෑම සේවා ආයතනයක සේවකයන් මෙන්ම සේවා යෝජකයෙකුද සිටියි. සේවකයාගේ වැටුපෙන් මෙන්ම සේවා යෝජකයාගේ ඉපැයීම් වලින් කොටසක්ද මෙම EPF අරමුදලට බැරවීම සිදුවේ. එනම් සේවකයාගේ වැටුපෙන් 8% මුදලක්ද, සේවා යෝජකයාගෙන් 12% ක්ද සේවක අර්ථසාධක අරමුදලට මාස්පතා බැර වේ.
සේවයට බැඳී දින 14ක් ඇතුළත තමුන් EPF අරමුදල සඳහා අදාළ ආයතනය හරහා ලියාපදිංචි කරවාගත යුතුය. මෙය සේවාදායකයා සතු වගකීමකි. මෙම ලියාපදිංචියේදී තමුන්ට A,B හා H ලෙස පත්‍ර තුනක් හිමි වේ. එහි A පත්‍රයේ සඳහන් කළ යුත්තේ තමුන්ගේ පෞද්ගලික විස්තර වන අතර B පත්‍රයේ සඳහන් කළ යුත්තේ තමුන්ගේ පෞද්ගලික විස්තර වන අතර එය තමුන්ට හිමිවන සාමාජික පත්‍රයයි. H පත්‍රය තුල හදිසි අවස්ථාවක තමා මියගියහොත් එහි භාරකාරත්වය පැවරීම වැනි කරුණු සඳහන් කිරීමට තිබේ. මෙහිදී A, B හා H යන පත්‍ර පුරවා කම්කරු කාර්යාලයට භාරදිය යුතුව තිබේ. මෙම කාර්යය තම ආයතනය හරහා සිදුකරනු ලබයි. මෙහිදී B කාඩ්පත දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි කර ආයතනයට භාරදිය යුතුය. A හා H පත්‍ර දෙපාර්තමේන්තුවේ තබා ගතයුතුයි. B පත්‍රය තමන්ට හිමිවීමට නියමිත වුවත්, එය බොහෝ සේවකයන් අතින් අස්ථානගත වන නිසා බොහෝ ආයතන එම කාඩ්පත තබාගෙන සේවකයා ස්ථීරව සේවයෙන් ඉවත් වන දිනට ලබාදීමට කටයුතු සලසා ඇත.
මේ ආකාරයෙන් කම්කරු කාර්යාලයට ලැඛෙන දත්තවලට අනුව සියලු සේවකයන්ට ගිණුම් අංකයක් ලැබේ. එම ගිණුම් අංක සැකසෙන්නේ මේ ආකරයටය. සියලුම සේවා යෝජක ආයතන සඳහා කම්කරු දෙපාර්තමේන්තුවෙන් ලියාපදිංචි අංකයක් ලැබේ. උදාහරණයක් ලෙස සේවා ස්ථානය ගාල්ලේ පිහිටා ඇතිනම් එම ආයතනයේ අංකය වනුයේ, ආයතනයට ලබා දෙන අංකය දිස්ත්‍රික් අක්ෂරය XX/G සේවා ස්ථානයේ පළමු සේවකයාට XX/G1 ලෙස ඔහුගේ EPF ගිණුම් අංකයක් සැකසේ. ඒ අනුව දෙවැනි සේවකයාට XX/G2 ලෙසත් සේවක ගිණුම් අංක සැකසීම මගින් මහබැංකුවට මාස්පතා EPF මුදල් යැවීම සිදුවේ.
අර්ථසාධක අරමුදල (EPF) ලබාගත හැකි ක්‍රම කිහිපයක් තිබේ.
01. ඔබේ සේවාව අවසන් වී නිසි වයස් සීමාව සම්පූර්ණ වූ පසුව, එනම් කාන්තාවක් නම් වයස අවුරුදු 50 සපිරුණු පසුව, පිරිමියෙකු නම් වයස අවුරුදු 55 සපිරිණු පසුව.
02. විවාහ පදනම මත (එනම් සේවයෙන් ඉවත් වී මාස 03ක් ඇතුළත විවාහය ලියාපදිංචි කර තිබීම හෝ විවාහ ලියාපදිංචි කර වසර 05ක් ඇතුළත සේවයෙන් ඉවත් වුවහොත් අදාළ විවාහක කාන්තාවට මෙම මුදල ලබාගත හැකිය.)
03. තවදුරටත් රැකියාවක් කරගත නොහැකි තරමට අබලදුබල වූ විට රජයේ රෝහලකින් ඒ බව තහවුරු කළ සෞඛ්‍ය 307 කම්කරු කාර්යාලයට ලබාදීම මගින් මෙම අරමුදල ලබාගත හැකිය.
04. විදෙස් රටකට යාම සඳහා ස්ථීර වීසා ලැබුණු අවස්ථාවක.
05. ස්ථීර විශ්‍රාම වැටුප් සහිත රජයේ රැකියාවක් ලැබුණු විට.
06. රාජ්‍ය ප්‍රතිපත්තියක් යටතේ හෝ ව්‍යවස්ථාපිත මණ්ඩලයක් හෝ සංස්ථාවක් EPF මුදල ලබාදිය යුතු යැයි අමාත්‍ය මණ්ඩලය තීරණය කළහොත් අදාල මුදල ලබාගත හැකිය.
ඔබ එක් ආයතනයකින් ඉවත්ව තවත් ආයතනයක සේවයට යයි නම් එවැනි අවස්ථාවලදී පෙර ආයතනයේ මුදල් දෙවැනි ආයතනයේ ගිණුමට ඒකාබද්ධ කරගත යුතුය. එසේ නොමැති නම් ඔබ සේවය කරන සෑම ආයතනයක්ම ලියාපදිංචි B කාඩ්පත සුරැකිව තබාගැනීමට සැලකිලිමත් විය යුතුය. යම් ලෙසකින් ඔබට EPF මුදල්ද හිමි බව කියමින් සේවට බඳවාගෙන B කාඩ්පත ලියාපදිංචි නොකරන ලද ආයතනයක් වුවහොත් එම මුදල් ලබා ගැනීමට වෙහෙසක් දැරීමට සිදුවේ.
එබැවින් ආයතනයෙන් ලැබෙන B කාඩ්පත සුරැකිව ළඟ තබා ගන්න. යම් ලෙසකින් B කාඩ්පත ලියාපදිංචි කර නොතිබුණහොත් EPF මුදල් ගැනීමට අදාළ ආයතනයේ සේවය කළ බවට පිළිගත් ලිඛිත සාක්ෂියක් කම්කරු කාර්යාලයට ලබාදීමට ඔබට සිදුවේ.
EPF මුදල් ලබාගැනීමට පැමිණීමේදී ඔබේ කාලය අනවශ්‍ය ලෙස කා දැමීමේ චෝදනාවට පිළීතුරු.
ඔබට මෙම මුදල් ලබාගැනීමට කොයි තරම් හදිසි වුවත් කම්කරු කාර්යාලය හරහා ඔබ විසින් සේවයට පැමිණි මුල් අවස්ථාවේදී A,B,H කාඩ් පත්වල තොරතුරු සමඟ අයදුම්පතේ තොරතුරු නිවැරදි දැයි සොයාබැලීම සිදුවේ. මෙම අවස්ථාවේ අදාළ තොරතුරු වල වෙනස්කම් සිදුවී තිබුණහොත් ඒ වෙනුවෙන් යම් කාලයක් වැය කිරීමට ඔබට සිදුවේ. මේ හේතුව නිසාම ඔබ මතක ඇතිව සේවයට පැමිණි මුල් කාලවකවානුවේදී ඔබට ලැඛෙන A,B හා H යන පත්‍ර ඉතාම නිවැරදිව, පැහැදිලිව, ස්ථීර හා සත්‍ය තොරතුරු ඇතුළත් කර පිරවිය යුතුය. එවිට ඔබට අනවශ්‍ය ලෙස කාලය කා දැමීමක් සිදු කළ යුතු නැත.
ඔබේ අවශ්‍යතා කඩිනමින් ඉටු කරගැනීමට,
දැන් දිවයින පුරා පිහිටා ඇති දිස්ත්‍රික් කම්කරු කාර්යාල 33ක් EPF පහසුකම් සඳහා ස්ථාපිත කර ඇති බැවින් තම පදිංචි ප්‍රදේශයට ආසන්නම කම්කරු කාර්යාල හරහා සේවාවන් ලබාගත හැකිය.
වැඩි විස්තර සඳහා 0112 - 368917 අමතන්න.
ප්‍රධාන කාර්යාලය - 08 වැනි මහල, කම්කරු දෙපාර්තමේන්තුව, නාරාහේන්පිට
EPF / ETF ගැන දන්නවද ? (දෙවන කොටස) මෙතනින්...