"හරියට ගෙනියන්න බෑග් 1ක්වත් නෑ"
"පාසල් යන්නේ කැඩුණු සපත්තු දාගෙන"
අති දුෂ්කරතා මැද ගස් යට සිට පාඩම් කර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 173ක් ලබාගෙන කඩයිම ජයගත් දිරිය පුතෙකු පිලිබඳ තොරතුරු බදුල්ල, ඌව පරණගම, ඇල්ලලන්ද ගම්මානයෙන් අපට වාර්තා වුණා.
බදුල්ල ඇල්ලලන්ද විද්‍යාලයේ ඉගෙනුම ලබන සුපුන් ප්‍රදීප් වන මෙම දරුවා පාසලේ වසර 57ක ඉතිහාසය තුළ ශිෂ්‍යත්ව විභාගයෙන් සමත් වූ එකම ශිෂ්‍යයා බවට මෙවර පත්වුණා.
සුපුන්ගේ සහෝදරියන් දෙදෙනා බදුල්ල- මස්පන්න විද්‍යාලයේ 10 සහ 11 වසරවල ඉගෙනුම ලබන අතර ඔවුන්ද එම පාසලේ කැපී පෙනෙන දස්කම් පෙන්වන දක්ෂ ශිෂ්‍යාවන් බවයි එම පාසලේ ගුරුවරුන් සඳහන් කරන්නේ.
ස්ථිර නිවහනක් නොමැතිව මව සමගින් තම මාමාගේ නිවසෙහි දිවිගෙවන ඔවුන් පියාද නොමැතිව අගහිඟකම් මැද සිය ජීවිත ගෙවනු ලබනවා.
කුලී වැඩ කරමින් දරුවන්ට මහන්සියෙන් ඉගැන්වූ සුපුන්ගේ මව සිය අදහස් අප වෙත මෙලෙස ප්‍රකාශ කළා.
"මට ගොඩක් සතුටුයි මගේ පොඩි පුතා ශිෂ්‍යත්වයෙන් ඉහළම ලකුණු අරන් සමත් වුණ එකට. අනියම් සම්බන්ධයක් නිසා දරුවන්ගේ තාත්තා දාල ගියේ 2012දි. එයා මට ගොඩක් හිරිහැර කළා. කියන්නත් බැරි නරක විදියේ දේවල් කරමින් හිරිහැර කළා. මම තාම ඒවට බදුල්ල මහා රෝහලෙන් ප්‍රතිකාර ගන්නවා. මගේ ලොකු දුවත් මේ පාර සාමාන්‍යපෙළ ලියනවා. පන්ති නොගියත් දුව විභාගවලින් පන්තියේ ඉදිරි 5දෙනා අතර ඉන්නවා. අපි මගේ මල්ලිගේ ගෙදර ඉන්නේ යන්න තැනක් නැති නිසා. එයාටත් දරුවෝ දෙන්නෙක් ඉන්නවා. කවුරුහරි මගේ දරුවන්ට උගන්නන්න උදව් කරනවනම් ඒක ලොකු පිනක්"
දුෂ්කරතා මැද ඉතා අපහසුවෙන් ලද ජයග්‍රහණය පිලිබඳ පුංචි සුපුන් මෙලෙස අප වෙත අදහස් ප්‍රකාශ කළා.
"මං ශිෂ්‍යත්වේ පාස් වුණේ පන්ති ගිහිල්ලා නෙමෙයි. පාසල් ගුරුවරුනුයි, අම්මා ගෙදරදී කියාදීපු ඒවයිනුයි තමයි මං පාඩම් වැඩ කළේ. මාමාලාගේ ගෙදර හරියට ඉඩක්වත් නෑ. අපි මිදුලේ ගස් යට ඉදන් පාඩම් කරන්නේ. පාසල් යන්නේ කැඩුණු සපත්තු දාගෙන. හරියට ගෙනියන්න බෑග් 1ක්වත් නෑ. අපිට ඕනේ හොදට ඉගෙන ගන්න"
ඇල්ලලන්ද විද්‍යාලයේ විදුහල්පති ආර්.එම්.ප්‍රේමරත්නද අප වෙත අදහස් දක්වමින් ප්‍රකාශ කළේ මෙම දරුවන්ට පිහිටක් වනවානම් එය විශාල පුණ්‍ය කර්මයක් බවයි.