මේ වනවිට අඛණ්ඩ වර්ජනයක්....
වර්ජනය පැවතුනත් දුම්රිය කිහිපයක් ධාවනය වෙනවලු.....
දුම්රිය එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය නොකිරීම හේතුවෙන් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඊයේ (11) රාත්‍රියේ ආරම්භ කළ හදිසි වර්ජනය මේ වනවිට අඛණ්ඩ වර්ජනයක් බවට පත්කර තිබෙනවා.
එන්ජින් රියදුරන්ගේ මෙම වර්ජනයට දුම්රිය නියාමකවරුන්ද සහය පළ කරමින් ඊයේ රාත්‍රියේ සිට එක්ව ඇති බවයි වාර්තාවන්නේ.
සේවකයන්ගේ හදිසි වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් කොළඹ - කොටුවෙන් සහ මරදානෙන් ආරම්භ වීමට නියමිත දුම්රිය ගමන්වාර රැසක් ඊයේ රාත්‍රියේ සිට මේ දක්වා අවලංගු කර තිබෙනවා.
එන්ජින් රියදුරන්ගේ හදිසි වර්ජනයත් සමග දුම්රිය මගීන් නොසන්සුන්කාරී ලෙස හැසිරීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ කොටුව දුම්රියපලේ උනුසුම් තත්ත්වයක් ඇතිවුණා.
දුම්රිය ගමන් වාර මෙලෙස අවලංගුවීම හේතුවෙන් ඊයේ රාත්‍රියේ ශ්‍රී ලංගම බස් රථ යොදවා මගීන්ට ගමන් පහසුකම් සැළසීමට පියවර ගත් බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළා.
මරදාන දුම්රිය ස්ථානයේද යම් නොසන්සුන්කාරී තත්ත්වයක් ඇති වීමේ අවදානම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක්ද ඊයේ රාත්‍රියේ කැඳවා තිබුණා.
කෙසේ වෙතත් දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ අද අලුයම ස්ථාන කිහිපයකින් දුම්රිය කොළඹට පැමිණීම ආරම්භ කර ඇති බවයි.
ඒ අනුව පොල්ගහවෙල, කුරුණෑගල, පානදුර, අවිස්සාවේල්ල යන දුම්රිය ස්ථාන සිට කොටුව දක්වා දුමරිය ගමන්වාර කිහිපයක් ආරම්භ කෙරුණු බවයි දුම්රිය ගමනාගමන අධිකාරී විජය සමරසිංහ අප වෙත වැඩිදුරටත් ප්‍රකාශ කළේ.
මේ අතර වර්ජනය පැවතුනද දුම්රිය කිහිපයක් මේ වනවිට ධාවනය වෙමින් පවතින බව ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.
දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී කියා සිටියේ මාතර සිට කොළඹ දක්වාත්, අවිස්සාවේල්ල සිට කොළඹ දක්වාත්, පොල්ගහවෙල සහ මහව සිට කාර්යාල දුම්රිය කොළඹ දක්වා ධාවනය වන බවයි.
දුම්රිය එන්ජින් රියදුරු සහයකයින් බඳවා ගැනීමේ පරිපාටිය සංශෝධනය නොකිරීම හේතුවෙන් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය ඊයේ රාත්‍රියේ හදිසි වර්ජනයක් ආරම්භ කළ අතර, ඊට දුම්රිය නියාමකවරුන්ගේද සහය හිමිවුණා.
කෙසේ වෙතත් හැකි පරිදි දුම්රිය ධාවනය කිරීමට කටයුතු කරන බවයි දුම්රිය ගමනාගමන අධිකාරි විජය සමරසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කළේ.