දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන පාසල් සිසුවකු විසින් තමන්ගේම නිවස බිඳ රුපියල් දෙලක්‍ෂ පනස්‌දහසක් සොරාගත් පුවතක් පිළිබඳව නොච්චියාගම ප්‍රදේශයෙන් වාර්තාවනවා.
එම පාසල් සිසුවා සොරාගත් මුදලින් රුපියල් එක් ලක්‍ෂ අටදාහක් සමඟ පසුගියදා නොච්චියාගම පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
නොච්චියාගම හල්මිල්ලගල ප්‍රදේශයේ පුද්ගලයකු විසින් තම නිවස බිඳ රුපියල් දෙලක්‍ෂ පනස් දාහක් සොරාගත් බවට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය පුළුල් පරීක්‍ෂණ ආරම්භ කර තිබුණා..
තමන් නිදාගන්නා විට කකුලට තබා ගන්නා කොට්‌ටයට එම මුදල් දමා මසා ආරක්‍ෂාවට තබා තිබෙන බවත් නිවසේ වහලයේ උළු කැට කඩා ඇතුළු වී සොරාගෙන ඇත්තේ එම මුදල් බවද ඔහු පැමිණිල්ලේ සඳහන් කර ඇත.
මේ මුදල් පිළිබඳව නිවසේ කිසිවකු දැන සිට නැති බවද පොලිසිය කළ පරීක්‍ෂණවලදී හෙළිවී ඇති බවයි පැවසෙන්නේ.
පවුලේ එකම දුව, බාල පුතා, බිරිඳ හා සැමියා මෙම නිවසේ ජීවත්ව සිට ඇති අතර බිරිඳ රැකියාවකට යන අතර දුවද රැකියාවක නිරතවී සිටිනවා.
පියා තම වෙළෙඳාම් කටයුතු සඳහා එදින පාන්දරින් නිවසින් පිටව ගිය පසු අවසානයට බිරිඳ නිවස වසා යතුර කිසියම් තැනක සුපුරුදු පරිදි සඟවා තබා වැඩට ගොස් තිබෙන බව සඳහන්.
එදින වේලාසනින් පියා ආපසු නිවසට පැමිණ තමා ළඟ ඇති යතුරෙන් නිවසේ දොර හැර ඇතුළට යන විට තම කාමරයේ වහලයේ උළු කැට කීපයක් කඩා දමා ඇති බව දැක පසුව ඒ ගැන සොයා බැලීමේදී මුදල් තිබූ කොට්‌ටය පිහියකින් කපා මුදල් රැගෙන ගොස් ඇති බව දැක පොලිසියට පැමිණ පැමිණිලි කර ඇත.
පොලිස් පරීක්‍ෂණ ආරම්භ කළ පොලිසිය ඒ සඳහා "හීරෝ" නමැති නිල සුනඛයාද සමඟ එම නිවසට ගිය විට බාල පුතා එම ස්‌ථානයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.
පසුව පොලිසිය ඔහු අසල්වැසි නිවසේ සිටියදී රැගෙන විත් වෙනත් තැනක රඳවා ඇති අතර පරීක්‍ෂා කිරීමේදී මෙට්‌ටය යට තිබූ මුදල් කොට්‌ටය කැපීමට භාවිත කළ පිහිය හමුවී තිබෙනවා.
අනතුරුව හීරෝ පිහිය ඉව කිරීමෙන් පසු අවස්‌ථා තුනකදීම මෙම පාසල් සිසුවා සිටින තැන සොයා ගොස් ඔහු අසලම නැවතී ඇති බව සඳහන්.
පසුව පොලිසිය ඔහු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සොරකමේ සුල මුල හෙළිකර ගැනීමට හැකිවූ බවයි පොලිසිය පවසන්නේ.